ලොව පුරා දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකිකයා දැලේ
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයකු ළාබාල දැරියන්ට ලිංගික අපරාධ සිදුකළ බවට වූ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම පුද්ගලයා ළාබාල දැරියන්ගේ අසැබි ඡායාරූප ලබාගෙන ඇත. පසුව එම ඡායාරූප උපයෝගී කරගනිමින් විවිධාකාරයෙන් තර්ජනය කිරීම් කර ඇතැයි චෝදනා ලබා සිටී.
23 හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා ඇතැම් දැරියන්ට තර්ජනය කර ඇත්තේ ඔවුන්ගේ ඡායාරූප පවුලේ සමීපතමයන් අතරට පත්කරන බව පවසමිනි. මෙම පුද්ගලයා පිළිබඳව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියට මෙන්ම එෆ්.බී.අයි. ආයතනයටද තොරතුරු වාර්තා වී ඇති බවත් ඔහු බලපෑම් කර ඇත්තේ අවුරුදු 12 සහ 14 වයස් කාණ්ඩවල දැරියන්ට බවත් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා මෙල්බර්න් ආසන්නයේ බර්වුඩ්හි ලිපිනයක වාසය කරන බවට පසුගිය ජුනි මාසයේදී තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව පොලිසිය සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබේ.
ඔහුගේ නවාතැන පරීක්ෂා කිරීමේදී පරිගණක සහ තවත් සන්නිවේදන උපකරණ කීපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා ව්‍යාජ නම් භාවිත කරමින් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ගැහැනු දරුවන්ට මෙලෙස තර්ජනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම දැරියන් සැකකරුට තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු මෙන්ම නිරුවත් ඡායාරූප යොමුකර ඇතැයිද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.
මෙම පුද්ගලයා මීට අමතරව තවත් ගැහැනු දරුවන් විශාල සංඛ්‍යාවකට සම්බන්ධතා ඇතිකර ගැනීම සඳහා පණිවුඩ යොමුකර ඇතැයිද, ඇතැම් දැරියන්ව ‘මරා දමන’ බවටද තර්ජනය කර ඇතැයිද ඩේලි මේල් වාර්තාවේ සඳහන් වේ.
නයන තරංග ගමගේ
