News

වරාය භාණ්ඩ නිෂ්කාශනයේදී මූලික – ප්‍රමාද ගාස්තු අය කිරීම යළි අරඹයි

කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වරායන්හි භාණ්ඩ නිශ්කාශනය කිරීමේදී මූලික ගාස්තු සහ ප්‍රමාද ගාස්තු අය කිරීම යළි සිදු කරන බව වරාය අධිකාරිය පවසයි.

වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ උපාලි සොයිසා සඳහන් කළේ මැයි මස 8 වැනිදා සිට වරායන්හි භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමේදී මූලික ගාස්තු සහ ප්‍රමාද ගාස්තු යන ගාස්තු දෙකම පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන බවය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත පසුගිය මාර්තු 16 වැනිදා සිට අප්‍රේල් මස 13 වැනිදා දක්වා මාසයකට ආසන්න කාලයක් වරායන්හි භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී කිසිදු මූලික ගාස්තුවක් හෝ ප්‍රමාද ගාස්තු අය කිරීමක් සිදු නොකිරීමට වරාය අධිකාරිය තීරණය කොට තිබිණි.

පසුව අප්‍රේල් මස 14 වැනිදා සිට මැයි 7 වැනිදා දක්වා වරායන්හි භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමේදී මූලික ගාස්තුව පමණක අයකර ගන්නා ලදී.

නමුත් පසුගිය 8 වැනිදා සිට වරායන්හි භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී ප්‍රමාද ගාස්තු සහ මූලික ගාස්තු අයකිරීමට වරාය අධිකාරිය කටයුතු කර ඇත.

එසේම මේ වන විට කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වරායන්හි රාජකාරි කටයුතු සඳහා සේවකයන් 4000 ක් පමණ කැඳවා ඇති බවද වරාය අධිකාරිය පවසයි.

 

වරුණි පෙරමුණ