News

විදෙස් නාවික රංචුවලට ලංකාව තහනම්

විශාල කණ්ඩායම් වශයෙන් විදෙස් නාවිකයන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගනු ලැබූ මෙම තීරණය සංක්‍රමණික කටයුතුවලට සම්බන්ධ මෙරට සියලු වගකිව යුතු ආයතන වෙත දන්වා ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ ‘අරුණ’ට පැවසීය.

දවස් දෙකකට කලින් ලංකාවට පැමිණි නාවිකයන් විසි නවයකට කොවිඩ් ආසාදනය වීම සලකා බලා තමයි මේ තීරණය ගත්තේ. මෙම නාවිකයන් පිරිස ඇවිල්ල තියෙන්නේ ඉන්දියාවෙන්. විශේෂත්වය තමයි මේ අය රටට ඇතුළු වෙන්න කලින් අදාළ රටේදී පීසීආර් පරීක්ෂණය සිදුකරල වයිරසය වැලඳිල නැහැ කියල තහවුරු කරල තිබීම.

මේක බරපතළ තත්ත්වයක්. ඒ නිසා විදේශ රටවල ඉඳල විශාල කණ්ඩායම් ලෙස නාවිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවනවා. නමුත් මෙරට රැඳී නොසිට ගුවන් තොටුපොළින් ඇවිත් ඒ ගමන්ම නැව්වලට යන කණඩායම්වලට මේ තහනමින් බාධාවක් නැහැ. රට තුළ දින කීපයක් ගතකරන නාවිකයන්ට පමණයි මේ තීරණය අදාළ වෙන්නේ’’ යැයි හෙතෙම පැවසීය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කලාපයේ රටවල නාවිකයන්ට හුවමාරු මධ්‍යස්ථාන අහිමිවී ඇති බැවින් එම පහසුකම සැලසීමට මෙතෙක් ශ්‍රී ලංකාව කටයුතු කළ නමුත් රටට ආසාදිතයන් ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගනු ලැබූ බවද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මෙම තීරණය ගුවන්තොටුපොළ සහ වරාය ඇතුළු වගකිවයුතු ආයතන වෙත දැනුම්දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

නයන තරංග ගමගේ/ උදයජීව ඒකනායක