News

විවෘත කිරීමට අවසර නැතිව බේකරි හිමියන් අසීරුවේ

බේකරි නිෂ්පාදන අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා නොදීම නිසා බේකරි හිමියන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියා ඇත.

දිවයින පුරා සුපිරි වෙළෙඳසල් ඇතුළු ආහාර සැපයුම් ආයතන විවෘත කර සේවා සැපයීමට පමණක් අවසරය ලබාදී ඇතැයිද එම ලිපියේ සඳහන් කර තිබේ.

බේකරි නිෂ්පාදන අලෙවිසල්වලින් ආහාර පිටතට රැගෙන යෑම සඳහා (පිසූ බත්,තේ මෙන්ම එහි සිට ආහාර ගැනීම තහනම් කර) පමණක් අවසරය ලබා දෙන ලෙසද පොලිස්පතිවරයාගෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල බේකරි නිෂ්පාදන අලෙවිසල් දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවැසීය.

 

සාලිය කුමාර ගුණසේකර