News

වී ගන්න රජයෙන් කෝටි 1000ක්

යල කන්නයේ වී මිලට ගැනීම සඳහා රුපියල් කෝටි දහසකට අධික මුදලක් මුදා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ ඊයේ (16දා) ප්‍රකාශ කළේය.

යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බව කී ඇමැතිවරයා වී අලෙවි මණ්ඩලය හරහා එම අස්වනු මිලදී ගැනීම සිදුකරන බවද කීය.

එක්​ ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් පන්දහසකට යටත්ව මිලට ගැනීම සිදුකරන බව කී හෙතෙම තෙත වී කිලෝවකට රුපියල් හතළිස් දෙකක් සහ වියළි වී කිලෝවකට රුපියල් පනහක සහතික මිලක් රජය ලබාදෙන බවද කීවේය.

ඒ අනුව ප්‍රමිතියෙන් යුතු සම්බා, නඩු සහ කීරි සම්බා රුපියල් පනහකට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීම සිදු කෙරේ.

 

අජිත් අලහකෝන්