News

වේලා දෙකකදී පාසල් අවසන් කළත් සිසුන් ප්‍රවාහනය කරනවා

වෙලා දෙකකදී පාසල් අවසන් කිරීමේ ගැටලුවට විසඳුමක් නොලැබුණත් පාසල් සිසුන් ප්‍රවාහනයෙන් ඉවත් නොවන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ ලේකම් මල් ශ්‍රී ද සිල්වා ‘අරුණ’ට ඊයේ (06 වැනිදා) පැවසීය.

විභාගවලට පෙනී සිටින සිසුන් සඳහා පාසල් ආරම්භ කර ඇති බවත් කුමන හෝ හේතුවක් මත පාසල් දරුවන් ඇපයට ගැනීමට තමන් එකඟ නොවන බවත් හෙතෙම කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පවතින තත්ත්වය මත පාසල් ළමයින් ප්‍රවාහනයෙන් ඉවත් වන බවට ඇතැම් සමිති කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

පාසල් සිසුන් ප්‍රවාහනය අඛණ්ඩව සිදුකිරීමට අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය හා තම සංගමය ඒකමතිකව තීරණය කළ බවත් දරුවන් අපහසුතාවට පත් කිරීමට තමන් සූදානම් නොමැති බවත් හෙතෙම කීවේය.

වේලා දෙකකදී පාසල් අවසන් කිරීමේ වැඩපිළිවෙළ වෙනස් කරන්නේ නම් එය පාසල් ප්‍රවාහනය කරන්නන්ට සහනයක් වන බවද ඔහු කීවේය. තවද ඊයේ සිට සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යන බවද හෙතෙම පැවසීය.

නිලන්ත මදුරාවල