විලාසිතා

ශ්‍රියා කාන්තාවන්ට හෙයා බෑන්ඩ් එකක්

ගොඩක් වෙලාවට අපි නිවසක ශ්‍රියා කාන්තාව කියල හඳුන්වන්නේ අම්මා. අම්මා නැති ගෙවල්වල අම්මාගේ අඩුව පිරිමහන දූවරුත් ගෙදර ශ්‍රියා කාන්තාවෝ තමයි. ඉතින් මේ හැමෝම වයස් භේදයකින් තොරව ප්‍රිය කරන සරල, සිත්ඇදගන්නා විලාසිතාවක් තමයි හෙයා බෑන්ඩ් එක. අද වෙළෙඳපොළේ විවිධාකාර විලාසිතාවලින් හෙයාබෑන්ඩ් තිබුණත් නිවසේදී ඊට වඩා ලස්සනට, වයසට සහ තැනට සුදුසු හෙයා බෑන්ඩ් එකක් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අද අපි කියල දෙන්න යන්නේ ලස්සන හෙයා බෑන්ඩ් එකක් ගෙදරදී හදාගන්න විදිය. ඔබට කුඩා දියණියක් සිටිනවා නම් මේ සඳහා ඇය ඉතාම කැමැත්තෙන් උදව් කරාවි.

යුවතියට ගැළපෙන විලාසිතාවක්

මේ හෙයාබෑන්ඩ් එක සඳහා ඇදෙනසුළු ටීෂර්ට් කැබැල්ලක් සොයාගන්න. අඟල් 5ක් පළල අඟල් 10 දිග පටි කැබලි දෙකක් සෑහේ. පටි කැබලි දෙක වෙන වෙනම මූට්ටු කරන්න. පටි දෙක හොඳපිට හරවා ගන්න. මූට්ටුව මැදට සිටින සේ සකසාගෙන පටි දෙක එකක් හරහා එකක් සිටින සේ (ධන ලකුණේ හැඩයට)තබන්න. ඉන්පසු පටි කෙලවරවල් හතරම එකට සිටින සේ තබා හොඳින් මසා ගන්න. ඉන්පසුව එය හොඳපිට හරවා ගන්න. ලස්සන වගේම චාම් හෙයා බෑන්ඩ් එකක් නිර්මාණය වී ඇති.

හුරුබුහුටි දියණිය තවත් ලස්සන කරන්න

මේ සුන්දර හෙයාබෑන්ඩ් එක සඳහා සිල්ක් මිශ්‍ර රෙදි කැබැල්ලක් වඩාත් ගැළපේ. එයින් පළල අඟල් 8යි දිග අඟල් 13ක් වන රෙදි පටියක් කපා ගන්න. ඒ සමගම පළල අඟල් 2 ½ක් සහ දිග අඟල් 11ක් වන තවත් පටියක් කපාගන්න. අඟල් 5 ½ ක් වන ඉලාස්ටික් කැබැල්ලක් ද අවශ්‍ය වනවා.

මුලින්ම රෙදි පටි දෙක වෙන වෙනම දිග අතට මූට්ටු කරන්න. ඉන්පසු හොඳපිට හරවා මූට්ටුව මැදට සිටින සේ තබා ඉස්ත්‍රික්ක කරන්න. එහි හරි මැද උඩ සිට පහළට නූල් ඇද බෝ එකක් සිටින සේ රැලි කරගන්න. කුඩා ලූප් එකක් ආධාරයෙන් එම මැහුම වසා ගන්න.
දිගින් අඩු පටිය තුළට ඉලාස්ටික් කැබැල්ල දමා දෙකෙලවර මසා ගන්න. එය ලොකු පටියේ දෙකෙලවරට අල්ලාගෙන හොඳ පිට හරවා ගන්න. සුරතල් දියණියගේ හිස සැරසීමට කදිම හෙයාර් බෑන්ඩ් එකක් නේද?

කියුට් ඇන්ඩ් ස්මාර්ට්

පරණ ටීෂර්ට් එකකින් බබාට හෙයා බෑන්ඩ් එකක් සාදා ගනිමු. ඉරි වැටුණු ටීෂර්ට් එකක් නම් වඩා හොඳයි. බබාගේ හිස වට ප්‍රමාණය අනුව දිග ගන්න. පළල අඟල් 3ක් පමණ සෑහේ. කපාගත් රෙදි කොටස දෙකට නවා කෙලවරවල් උල් හැඩයට එන සේ කපා හැඩ කරගන්න. පටියේ හරි මැදින් අඟල් දෙකක් පමණ ඉඩ තබා ඉතිරි ටික මූට්ටු කරන්න. දැන් එම නොමසා ඉතිරි කරගත් විවරයට ඔබගේ අතේ මහපටඇඟිල්ල රිංගවා මැසූ රෙදි කොටස රැලි වැටෙන සේ පසුපසට යවමින් උල් සහිත කෙලවර දක්වා තල්ලු කරන්න. ඒ ආකාරයට පටිය හොඳපිට හරවා ගත හැකියි. දෙපැත්තම එසේ සකසාගෙන එම විවරය ද මැහුම් නොපෙනෙන සේ මසා ගන්න. නැතිනම් ෆැබ්රික් ග්ලූ වර්ගයකින් අලවා ගැනීමට ද හැකියි. මෙය බබාගේ හිස වටා ගෙන ඉදිරිපසින් ගැට දෙකක් ගසා හැඩ බලන්න.

මනෝරා ප්‍රේමතිලක