News

ශ්‍රීලනිප 69වන සංවත්සරයට මෛත්‍රීගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69වන සංවත්සරය නිමිත්තෙන් හිටපු ජනාධිපති, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පක්ෂයේ 69වන සංවත්සරය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව සහ එහි සභාපතිත්වය දැරීම සම්බන්ධයෙන් තමන් වඩාත් සතුටට පත්වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවේදනයේ සදහන් කළ කරුණු පහතින්….

1951දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවී ගිය දශක කිහිපයේදී වරින් වර ආණ්ඩු ගණනාවක් පිහිටුවීමට සමත් විය. එම යුගයන්වල නායකත්වය දුන් විශේෂයෙන්ම පක්ෂ නායකයන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙන්ම ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද මෙහිදී විශේෂයෙන් සිහිපත් කරමින්.

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරවලදී විවිධ කටයුතු වලට සම්බන්ධ වී ජීවිත පරිත්‍යාග කළ මියගිය සියලු නායකයින් ගෞරවයෙන් සිහිපත් කරමි.

මේ රටේ වාම හා ප්‍රගතිශීලී දේශපාලන කදවුර 1950 දශකයේ සිට නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සංවර්ධනය සදහාත් ජාතියේ අනාගතය සදහාත් අති මහත් දැවැන්ත කාර්යයන් රැසක් එක් එක් යුග තුළ ඉටු කරනු ලැබීය. එමෙන්ම ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කිරීම සදහා විශේෂයෙන්ම බණ්ඩාරනායක ආණ්ඩු ඉතිහාසයේ කටයුතු කර ඇති ආකාරය අති ප්‍රශංසනීය වේ.

සෑම විටම දේශීයත්වය, ජාතිකත්වය, දේශජධ බව පෝෂණය කිරීමේ විශිෂ්ඨ වූ ජාතික මෙහෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු විසින් කරන ලදී. එමෙන්ම රටේ ස්වාධීනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම පෙනී සිටියේය.

ගරු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට නායකත්වය දුන් යුගයේ මිලේච්ජ් එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදය පරාජය කරමින් රටට සාමය ගෙනදීමට කටයුතු කිරීම මෙහිදී සිහිපත් කළ යුතුය.

එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරේ යාපනය දිස්ත්‍රික්කයෙන් අත ලකුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීම අප පක්ෂ ඉතිහාසයේ ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් මෙන්ම මෙරටට ජාතික දේශපාලනයේද වැදගත් කරුණක් ලෙස සටහන් විය යුතුය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් 14දෙනෙක් පාර්ලිමේන්තුවට එවීමට කටවුතු කළ ලක්වැසි මාගේ හෘද්‍යාංගම ස්තුතිය පුද කරන අතර ජාතියේ අනාගතය වෙනුවෙන්ද හෙට උපදින දරුවන් වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම පෙනී සිටින බව මෙහිලා සදහන් කරමි.