News

ශ්‍රී ලංකාවේ කුකුළු මස් ඕමානයට

ශ්‍රී ලංකාව ඕමානයට කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම ආරම්භ කර තිබේ. දෙරට අතර පවතින ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ යටතේ මෙම කුකුළු නිෂ්පාදන අපනයනය ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසීය.

ඒ අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පෞද්ගලික) සමාගම විසින් අපනයනය කළ මෙට්‍රික්ටොන් තිහක පළමු කුකුළු මස් තොගය ඕමානයේ අල් හමාඩ් ප්‍රේඩිං ඇන්ඩ් කොන්ටේ ආයතනය වෙත භාර දීම පසුගියදා සිදු විය.

මෙම ගනුදෙනුව පිළිබඳව අදහස් පළ කරන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් පවසන්නේ ගල්ෆ් කලාපයේ ශ්‍රී ලංකාවේ පළමු වරට නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළක් විවෘත වෙමින් පවතින බවයි.

ඕමානයේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය විසින් අවශ්‍ය ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිට කුකුළු මස් නිෂ්පාදන එරටට අපනයනය කිරීමේ බලපත්‍රය නිකුත් කර ඇත.

නයන තරංග ගමගේ