News

ස්වයං නිරෝධායන නිවැසියන් අපද්‍රව්‍ය බැහැර කරන්න ඕනෑ මෙහෙමයි

ස්වයං නිරෝධායනය වන පවුල්වල නිවැසියන් තමන්ගේ දෛනික අපද්‍රව්‍ය නිවෙස්වලින් බැහැර කිරීමේදී වඩා වගකීමෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළයුතු බවත් එසේ නොවුණහොත් පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සෞඛ්‍ය කම්කරුවන් කොරෝනා අවදානමකට ලක්විය හැකි බවත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම අවධාරණය කරයි. නව කොරෝනා වයිරසය ආසාදිතවූ පුද්ගලයකුගෙන් නිකුත්වන වයිරසය එම පුද්ගලයා ඉවතලන අපද්‍රව්‍ය මගින් ආපසු සමාජගත විය හැකි බවත් එනිසා ස්වයං නිරෝධායනය වන නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ලෙස කළමනාකරණ කිරීම ඉතා වැදගත් බවත් අධ්‍යක්‍ෂවරයා පවසයි.

සකසුරුවම් ලෙස ආහාර පරිභෝජනය කිරීම අනවශ්‍ය හා ප්‍රමාණයට වඩා ද්‍රව්‍ය පරිභෝජනයවීමෙන් වැළකී සරල ජීවන රටාවකට හුරුවීම, ජනනය වන අපද්‍රව්‍ය හැකිතාක් වෙන් කිරීම, ඒවා පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සහ පොලිතින් ප්ලාස්ටික් වැනි නිතර පරිසරයට ඉවතලන දෑ අඩුවෙන් භාවිත කිරීම යනාදිය සිදුකළ යුතු බව පවසන අධ්‍යක්‍ෂවරයා නිරෝධායනය වන නිවැසියන්ගේ ඉතිරි ආහාර කොටස්, ඉවතලන මුඛ ආවරණ, ග්ලවුස්, ලේන්සු සහ සෙම් සොටු තැවරුණ ලේන්සු ටිෂූ ආදිය කහ පාට ගේජ් 300 ඝනකම සහිත බෑගයක බහා පැය 72ක් නිවස තුළ තබා පළාත් පාලන ආයතනයට භාර දිය යුතු බව පවසයි.

බස්නාහිර පළාතේ 6000ක් පමණ වන සෞඛ්‍ය කම්කරුවන් සඳහා ලබා දීමට මේ වන විට විෂබීජනාශක දියර, සනිපාරක්‍ෂක ඇඳුම්, මුව ආවරණ, බූට්ස් සපත්තු යනාදිය පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පරිදි ලබාදී ඇති බවත් නිරෝධායනය වන නිවැසියන් වගකීම් සහගතව කටයුතු නොකළහොත් සෞඛ්‍ය කම්කරුවන් අවදානමට ලක්වනවා පමණක් නොව එමගින් වයිරසය සමාජගතවීමට ඉඩකඩ ඇති බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

ඉන්දික සංජීව විතාන -හොරණ