සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ
රාජ්‍ය සේවයේ නිරත ව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ට ඊයේ (22) රැස්වු අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.
මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ හිමිවූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන් ට පමණක් වන අතර ඒ සමස්ත විශ්රාමිකයන්ගෙන් 10% ක පිරිසක් පමණක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීමේ දී විෂමතාවක් නිර්මාණය වී ඇති බැවින් එම විෂමතාව ඉවත් කොට විශ්‍රාම ලැබු සියලුම රාජ්‍ය සේවකයින් ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ලැබෙන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
රජයේ සේවකයින් ට සහ සියලු විශ්‍රාමිකයින් ට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි විශේෂ වු සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා තවදුරටත් පවතින බැවින් එම විෂමතා වහාම ඉවත් කිරීම පිණිස සුදුසු යෝජනා ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම්දීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
