සීනි බදු වාසිය කාටද?
සීනි සඳහා වූ බද්ද රුපියල් 50.00 සිට ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය ලැබුණේ පාරිභෝගිකයාටද නැතිනම් වෙනත් පාර්ශ්වයකටද යන්න පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස ඔහු මෙම දැනුම්දීම කර ඇත.
මුදල් අමාත්‍යාංශය 2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැසට් පත්‍රය මගින් ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් පැවැති රුපියල් 50.00 බදු මුදල ශත 25ක් දක්වා අඩු කළේය. මෙසේ අඩු කිරීම මගින් එහි වාසිය පාරිභෝගිකයන්ට කිසිසේත්ම නොලැබී ගිය බව මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ. මේ අතර, ඉදිකිරීම් සඳහා ගෙන්වන යකඩ කුලුනුවල බදු සංශෝධනයෙන්ද සාමාන්‍ය පාරිභෝගිකයන්ට එම නිෂ්පාදනවල වාසිය හිමිවන්නේද යන්න පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන් කිසිවිටක තමන් ලාභ ලබන බව සඳහන් නොකළද රජයේ බදු සංශෝධනවල වාසිය සැබෑවටම හිමි විය යුත්තේ සාමාන්‍ය මහජනතාවට බවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ , පසුගිය ඔක්තෝබර් මස සිට නිකුත් කළ මුදල් අමාත්‍යාංශයට අදාළ අති විශේෂ ගැසට් පත්‍ර කිහිපයක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට ගැනුණු අවස්ථාවේ දීය.
අජිත් අලහකෝන්
