News

සීමාවාසී පුහුණුවේ සිටි ගුරු සිසුන්ගේ මාසික දීමනාව නතර කරලා

පාසල්වල සීමාවාසී පුහුණු කාලසීමාවේ සිටින හාරදහසක් පමණ වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු සිසුන්ගේ රුපියල් පන්දහසේ මාසික දීමනාව ලබාදීම මාර්තු මාසයෙන් පසු නතර කර ඇත.

මෙම ගුරු සිසුන්ගේ පුහුණු කාලසීමාව ජුනි මාසයේ අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් පසුගිය කාලයේ පාසල්වලට නිවාඩු ලබා දී වසා තැබුණි.

එහෙයින් පාසල් යළි විවෘත කිරීමෙන් අනතුරුව තවත් මාසයක කාලයක් දක්වා පුහුණුව කර ඇත.

පසුගිය වසරේ ජුනි මාසයේ දී සීමාවාසී පුහුණුව සඳහා පාසල්වලට පැමිණි තමන්ට මෙම වසරේ ජුනි මාසය දක්වා මෙම රුපියල් පන්දහසේ දීමනාව හිමි විය යුතු බව එම ගුරු සිසුහු පෙන්වා දෙති.

එහෙත් මේ වන විට එම දීමනාව නතර කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ඔවුහු සඳහන් කරති.

අවසන් ක්‍ර්‍රියාමූල පරීක්ෂණයේ වාර්තාව සකස් කිරීම සඳහා පමණක් රුපියල් පන්දහසක් පමණ වැය කළ යුතු බවත් ඊට අමතරව තමන් පාසල් අවට රැඳී සිටීමේ කුලී වශයෙන් මාසයකට විශාල මුදලක් වැය කළ යුතු බවත් රුපියල් පන්දහසේ දීමනාව ද නතර කිරීම බරපතළ අසාධාරණයක් බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ගැටලුව පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පැවැසීය.

 

නිලන්ත මදුරාවල