සුමන්තිරන් කොටි විරු සැමරුමකට ගිහින්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී සිටින දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මියගිය එල්.ටී.ටී.ඊ. නායකයකු සැමරීමට සහභාගී වූයේ කෙසේදැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර පෙරේදා (28 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
මේ අවස්ථාවේ සභා ගැබෙහි සිටි සුමන්තිරන් මන්ත්‍රීවරයා නැගිට පිළිතුරු දීමත් සමග මන්ත්‍රීවරුන් දෙදෙනා අතර උණසුම් වචන හුවමාරුවක් ඇති විය.
සුමන්තිරන් මන්ත්‍රීවරයා සහභාගීවූයේ කිට්ටු නමැති එල්.ටී.ටී.ඊ ප්‍රබලයා සමග සමීපව කටයුතු කළ මෙන්ම ප්රභාකරන්ගේද සමීපතමයකුවූ යාපනයේ කොටි නායකයකු සැමරීමට බව ඇමැතිවරයා චෝදනා කළේය.
ඔහු කොටි නායකයකු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිගත්තේය. මෙය ප්‍රසිද්ධියේ සිදුකළ සැමරීමක් නොවන බවත් මිය ගිය පුතා වෙනුවෙන් මව විසින් නිවස තුළ මෙම සැමරීම කළ බවත් කී මන්ත්‍රීවරයා මිය ගිය විරුවන් සැමරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිනම් තම දරුවන් සැමරීමට දෙමල වැසියන්ට නොහැක්කේ මන්දැයි විමසුවේය.
ජවිපෙ සහ එල්.ටී.ටී.ඊ.ය සැසඳිය නොහැකි බව කී ඇමැතිවරයා කොටි සංවිධානය උත්සාහ කළේ රට දෙකඩ කිරීමට බවද කීය. සිය පුත්‍රයා සැමරීමට මවකට අයිතිය ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දී ඇති මන්ත්‍රීවරයෙකු මියගිය කොටි නායකයකු සැමරීමට සහභාගීවීම ව්‍යවස්ථා විරෝධී බවද කීය.
අජිත් අලහකෝන්
