News

සෘජු ණය ලබා ගැනීම සීමා කරයි

අන්තර්ජාතික බැංකු සහ විදේශීය රටවලින් ‘සෘජු ණය’ ලබා ගැනීම වසර දෙකක කාලයක් සඳහා සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණට’ පැවසීය.

ඒ වෙනුවට දේශීය බැංකු හා අන්තර්ජාතික ආධාර සංවිධාන විසින් ලබා දෙන සහන ණය සඳහා ප්‍රමුඛතාව ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ 2020 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් බාහිර විදේශ ණය ලෙස ආපසු ගෙවිය යුතුව ඇත. මෙය මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණය ආපසු ගෙවීමයි.

ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව මධ්‍යම රජයේ හිඟ ණය රුපියල් බිලියන 12,863.5කි. ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ඇතුළුව 2020දී විදේශ ණය ආපසු ගෙවීමේ කිසිදු දුෂ්කරතාවක් ශ්‍රී ලංකාවට නොමැති බවද වසරේ ඉතිරි කාලය තුළ ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් පමණක් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

නයන තරංග ගමගේ