News

සෞභාග්‍යයේ දැක්ම යටතේ ත්‍රිකුණාමලයේ පුහුණු වැඩසටහනක්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට පුහුණුව සහිත රජයේ රැකියාවලට යොමු කිරීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තේරීපත් වූ පුද්ගලයින් 346 දෙනෙකු සඳහා අවශ්‍ය පුහුණුව අද දින ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සමන් දර්ශන පාඬිකෝරාළ මහතා සහභාගි වූයේය.

අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වීමට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ ප්‍රතිපත්ති වලට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සාමාන්‍ය පෙල අසමත් වූ 8 ශ්‍රේණිය සමත් තරුණ තරුණියන් මේ සඳහා තෝරාගෙන ඇති අතර ඔවුන් සඳහා මාස 6 ක පුහුණුව ලබාදීමෙන් පසුව රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවට යොමු කීරීම රජය බලාපොරොත්තු වන බවත් රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට සියළුම පුද්ගලයන්ට අවස්ථාව නොලැබෙන බවත් තේරීපත් වූ ඔබ සියළුදෙනාම භාග්‍යවතුන් බවත් දිස්ත්‍රික් ලේකම්තුමන් සඳහන් කලේය.

මෙයින් රජය බලාපොරොත්තු වන්නේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතාව ලබා දෙමින් එය භාවිතා කිරීම හරහා රාජ්‍ය සේවය කීර්තිමත් සේවයක් බවට පත් කිරීමත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් ජනතාවට අවශ්‍ය සේවය සපයන නියෝජිතයන් බවට පත් කිරීමත් බව එතුමා වැඩිදුරටත් පවසන ලදී.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශාල සම්පත් ප්‍රමාණයක් පවතින අතර එ්වා රටේ සංවර්ධනයට යෙදවීම අවශ්‍ය බවත් ඒ සඳහා විශ්වාසනීය ලෙස කාර්යක්ෂමව කැපවීමෙන් වැඩ කිරීම අප සියළුදෙනාගේ වගකීම බවත් එතුමා සඳහන් කලේය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු) ජේ.ජේ. මුරලිදරන් මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතිරේක දිසාපති එම්.ඒ. අනස් මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා කේ. පරමේශ්වරන් මහත්මිය, දිසාපති කාර්යාලයේ පරිපාලන නිලධාරි එස්.කේ.ඩී.⁣ නෙරංජන් මහතා ඇතුළු නිලධාරින් සම්බන්ධ වූහ.

 

 

සුමේධ රොෂාන් ත්‍රිකුණාමලය