නවතම ප්‍රවෘත්ති

හිස් අතින් ආපහු මාතරට යන්න මට ඕන වුණේ නෑ බින්දුවෙන් පටන්ගෙන ජීවිතය දිනූ සයුරිගේ කතාව

තිස්සමහාරාමෙ වැවෙන නිල් කටරොළු දැන් එක එක විදියට පිටරට යනවා

 

සියවස් ගණනක් අතීතයට ගිහින්, ප්‍රංශයේ ජීවත්වුණු 14 වැනි ලුවී රජ්ජුරුවන්ගේ මාලිගාවේ රාජකීය භෝජන සංග්‍රහයට ඉඳගන්න ලැබුණොත්… ඔබ ඒ අවස්ථාව භාරගන්නවද?

 

ඔබ ඒ අවස්ථාව භාරගත්තොත් ඒ භෝජන සංග්‍රහයේ  අනිවාර්‍ය අංගයක් වුණ ආහාරයක් ගැන ඔබට දැනගන්න ලැබේවි. ඒ තමයි ජෑම්.

 

14 වන ලුවී රජතුමා ජෑම්වලට විශේෂ ඇල්මක් දක්වපු කෙනෙක් නිසා එතුමාගේ රාජකීය භෝජන සංග්‍රහයට ජෑම් නැතිවම බැරි අංගයක් වුණා. ඒ නිසා රජුගේ රස මනාපයට ගැළපෙන පරිදි හරි පදමට ජෑම් සකස් කරන එක සූපවේදීන්ට පැවරුණු විශේෂ වගකීමක්. ඒ කාලෙ ජෑම්වල පදම හරියට නොතිබුණොත් සූපවේදීන්ට මරණ දඬුවම පවා නියම වුණාලු. එදා රාජකීය භෝජන සංග්‍රහයේ අනිවාර්‍ය අංගයක් වුණු ජෑම්, අද වන විට බාල, මහලු කා අතරත් ජනප්‍රිය ආහාරයක් බවට පත්වෙලා අවසන්. ඒ විතරක් නොවෙයි, ජෑම් නිෂ්පාදනය අද වන විට ඇතැම් කාන්තාවන්ට ස්වයං රැකියාවක් බවටත් පත්වෙලා. විදේශීය පලතුරුවලට පමණක් සීමා නොවී, අපේ රටේ නිල් කටරොළු, රොසැල්ලා වැනි දේශීය අමුද්‍රව්‍යවලට නව වටිනාකමක් එක් කරමින් ජෑම් නිෂ්පාදනයේ නිරත වන තිස්සමහාරාමයේ සයුරි දිල්රුක්ෂි කියන්නෙත් ඒ වගේ දිරිය ව්‍යවසායිකාවක්. සයුරි කියන තමන්ගෙ නම සන්නාමයක් බවට පත් කළ ඇගේ ඒ කතාවයි මේ…

 

සයුරි අපට කියපු විදියට මේ වනවිට ඇගේ පදිංචිය තිස්සමහාරාමයේ වුවත්, ඇගේ ජීවිත කතාවේ මුල් පරිච්ඡේදය ලියැවී තිබුණේ මාතර පුරවරයේයි. අයියලා සිව් දෙනෙකුටත්, මල්ලි කෙනෙකුටත් මැදිව හැදී වැඩුණු ඇයට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දී ජීවිතයේ නව පිටුවක් පෙරළුණා. ඒ අනුවයි පතිකුල නැකතට තිස්සමහාරාමයට එන්න සයුරිට සිද්ධවෙලා තියෙන්නෙ.

 

“මගේ විවාහය සිද්ධවුණේ යෝජිත විවාහයක් විදිහට. මහත්තයාගේ ගම තිස්සමහාරාමය. ඒ කාලේ ඔහු යුද හමුදාවේ සේවය කළේ. ඒ වෙද්දී යුද මෙහෙයුම් පැවැත්වුණු කාලයක්. හැබැයි ඒ සියලු දුෂ්කරතා මැද්දෙන් අපි, අපේ ජීවිත ගොඩනගාගත්තා.”

 

එකල, එම පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වුණේ සයුරිගේ සැමියායි. පවුලේ කටයුතු කළමනාකරණය කරමින්, ඔහුට අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලබා දෙමින් සයුරි ඔහුගේ ජීවිතයට නිහඬ පවුරක් වුණා. නමුත් ඒ සියල්ල කනපිට හැරුණේ පෞද්ගලික හේතුවක් මත ඇගේ සැමියාට රැකියාවෙන් සමුගැනීමට සිදුවීමත් සමඟයි. එතෙක් පැවති ආර්ථික ස්ථාවරත්වය එසැණින් කඩා වැටෙද්දී, දිවි සරි කරගන්න ඔවුන්ට අලුත් මඟක් සොයන්න සිදුවුණා.

 

“ඒ වෙලාවේ අපි මුලින්ම කළේ අපේ ගෙදර තිබුණ ඉඩමේ අක්කර භාගයක විතර ගොටුකොළ, මුකුණුවැන්න වගේ පලා වර්ග වගා කරලා කඩවලට දාපු එක. ඒකෙන් ලැබුණු ආදායමෙන් අපිට එදාවේල සරිකරගන්න පුළුවන් වුණා.”

 

‘දුප්පත්කම ඉස්තෝප්පුවෙන් ගෙට එනකොට ආදරය පෑල දොරින් පලා යනවා’ කියලා කියමනක් තිබුණත්, සයුරිලාගේ කතාව නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් වුණා. ජීවිතයේ අසීරුම කාලයේදීත් එකිනෙකා අත්නොහැර, අභියෝගවලට මුහුණදෙන්න ඔවුන්ට තිබුණේ අපූරු ශක්තියක්. ඒ ශක්තිය නිසාම මේ දෙපළගේ පුංචි කැදැල්ලට මුදල් අගහිඟකම් ආවත් සතුට නම් හිඟ වුණේ නැහැ. 2003 වසරේදී ඒ සතුට දෙගුණ තෙගුණ වුණේ පුංචි පුතු පැටියෙකුත් මේ කැදැල්ලට එක්වීමත් එක්කයි.

 

“ඒත් එක්ක අපි ගොඩක් සතුටින් හිටියේ. ඇත්තටම මගේ මහත්තයත් ගොඩක් හොඳ කෙනෙක්..”

 

එසේ පැවසූ සයුරි එක්වරම දිගු සුසුමක් හෙළුවේ මන්දැයි මා සිතන්නටත් පෙරම ඇය යළිත් හඬ අවදි කළා.

 

“ඒත්, 2004 දි හදිසි අනතුරකින් මගේ මහත්තයා නැති වුණා මිස්…”

 

එතෙක් සතුටින් ගලා ආ ඇගේ ජීවිත කතාවේ ඊළඟ පරිච්ඡේදයේ ලියැවී තිබුණේ වචන කළ නොහැකි තරම් වේදනාවන්ගෙන් හා අභියෝග ගොන්නකින්.

 

“ඒ දේවල් එක්ක මට ආපහු නැගිටින්න ඕන වුණා. මගේ දරුවාව හොඳ පුරවැසියෙක් කරන්න ඕන වුණා. මගේ මහත්තයාත් හොඳ කෙනෙක්. ඒ නිසා දරුවාවත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් විදිහට ගොඩනගන්න මට ඕනෑ වුණා.”

 

ඒ වෙනුවෙන් දරුවකුට යහපත් ගතිගුණ උරුම කර දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඔහුගේ අනාගතය වෙනුවෙන් ආර්ථික ශක්තියක්ද අවශ්‍ය බවත් ඇය හොඳින්ම දැන සිටියා.

 

“ඒ නිසා මම ගෙදර ඉස්සරහ පොඩියට සිල්ලර බඩු කඩයක් දාගත්තා. ඒ වෙනුවෙන් මගේ මල්ලී  මුදලින් සවියක් වෙද්දී මගේ අම්මා, මහත්තයාගේ අම්මා, තාත්තා වගේම නෑදෑ හිතවතුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒත්, ඒක හිතපු තරම් සාර්ථක නොවෙද්දී මම තුනපහ ව්‍යාපාරයකට යොමුවුණා. ඒකට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීමේදී යම් යම් දුෂ්කරතාවලට මුහුණදෙන්න සිද්ධ වුණා. ඒකත් එක්ක එම ව්‍යාපාරය ආරම්භ කරන්න මට බැරි වුණා. ඊට පස්සේ ප්ලාස්ටික් බඩු  විකුණන්න හිතුවා. සුදුසු තැනක් නොතිබුණ නිසා ඒකත් සාර්ථක වුණේ නැහැ. ඒ අතරේ මගේ අම්මා මට යෝජනා කළා ආපහු මාතර පදිංචියට එන්න කියලා.”

 

ඇය එසේ පවසද්දී මගේ මතකයට නැඟුණේ ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත බැද්දේගම නවකතාවයි. ඉංග්‍රීසි පාලන සමයේ තිස්සමහාරාමයට සමාන පරිසරයකින් හෙබි බැද්දේගම, එහි නිරූපණය වුණා. එහි ආරච්චිගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ ගම්බිම් අතහැර යන්නේ ඒ පරිසරයට පවා සාප කරමින්. එහෙත් සයුරි ගමට සාප කරමින් එය හැර යාම වෙනුවට, ඒ බිමේම සම්පත්වලින් තම ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කළා.

 

“මට තිස්සමහාරාමෙන් යන්න ඕන වුණේ නැහැ. මේ බිමේ පස සරුයි. ඕන දෙයක් වැවෙනවා. ඔහොම ඉද්දී මම පත්තරේක ලිපියක් දැක්කා නිල් කටරොළු වගාවක් ගැන ලියැවුණු. ඒවා අපනයනය කරලා හොඳ ආදායමක් උපයන්න පුළුවන් කියලා එහි සඳහන් වුණා. අනිත් එක නිල් කටරොළු කියන්නේ තිස්සමහාරාමයේ හොඳට වැවෙන මල් වර්ගයක්.”

 

ඒ අනුව, නිල් කටරොළු මල් සඳහා අපනයන වෙළෙඳපොළේ පවතින ඉල්ලුම පිළිබඳ එම තොරතුර සයුරිට නව ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීමට මගපෑදුවා. එහෙත් වෙළෙඳපොළ අවස්ථාවක් හඳුනාගැනීම පමණක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සහ නිෂ්පාදන මිලදී ගන්නා ගැනුම්කරුවකු සොයාගැනීම ඇය ඉදිරියේ පැවති ප්‍රධාන අභියෝග බවට පත්වුණා.

 

“ඒ නිසා මම මගේ ව්‍යාපාරික අදහස ගැන තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ කරගෙන මට නිෂ්පාදන මිලදීගන්න ගැනුම්කරුවකු සොයා දුන්නා. ඒ අතරතුර නිල් කටරොළු පැළ වගා කිරීම ඇරඹුවා. ඒවා පැළ වෙද්දී මම ණයක් අරගෙන විජලන යන්ත්‍රයකුත් මිලදී ගත්තා. නිල් කටරොළුවලට අමතරව රොසැල්ලා (ඇඹුල් බිලිං) වගා කරලා විජලනය කිරීමෙන් අනතුරුව අපනයනය කළා.”

 

එලෙස සයුරිගේ ව්‍යාපාරික ගමනට මුල් පියවර වැටෙද්දී ඒ හරහා සැලකියයුතු මට්ටමේ ආදායමක් උපයා ගැනීමට ඇයට හැකි වුණා පමණක් නොවෙයි, ඒ හරහා ගමේ තවත් පිරිසකටත් ආදායම් උපයා ගැනීමේ අවස්ථාත් නිර්මාණය වුණා.

 

“මම ගමේ අයගෙන් නිල් කටරොළු හා රොසැල්ලා මල් මිලදී ගත්තා. එහිදී රොසැල්ලා වගාවට අවශ්‍ය බීජ නොමිලේ ඔවුන්ට ලබාදුන්නා…”

 

ඒ ආකාරයෙන් දිනෙන් දින වර්ධනය වූ ඇගේ ව්‍යාපාරික ගමනට තවත් අභියෝගයක් එක් වුණා.

 

“එකක් තමයි මට නව තාක්ෂණය පිළිබඳ නිසි දැනුමක් තිබුණේ නැහැ. පැකේජින්, නිෂ්පාදනවලට අගය එකතු කරන ක්‍රම වගේ දේවල් ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නැහැ.”

 

ඒ දැනුම් හිඩැස පුරවා ගැනීමට සයුරිට අවස්ථාව ලැබුණේ 2023 වසරේදී ඇය තේරී පත්වූ වැඩමුළුවක් හරහායි. එම වැඩමුළුවෙන් ලැබුණු දැනුම සහ මඟපෙන්වීම ඇගේ ව්‍යාපාරයට නව දිශාවක් විවර කළා. එතෙක් අමුද්‍රව්‍ය ලෙස නිල් කටරොළු හා රොසැල්ලා විජලනය කර අපනයනය කිරීමට පමණක් සීමා වී සිටි ඇය, එම අමුද්‍රව්‍යවලට තවදුරටත් අගය එක් කරමින් තමන්ගේම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට පෙළඹුණා. ඒ අනුව ඇගේ නිෂ්පාදන වුණේ නිල් කටරොළු හා රොසැල්ලා ආශ්‍රිත ජෑම්, තේ හා පවුඩර් ආදියයි.

 

එහෙත් නිෂ්පාදනයක් බිහි කිරීම පමණක් ව්‍යාපාරයක සාර්ථකත්වයට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා සුදුසු වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමත් අත්‍යවශ්‍යයි. ඒ අභියෝගයට මුහුණ දෙමින් සයුරි තම නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට ගෙන යෑම සඳහා මාර්ගගත අලෙවිකරණ ක්‍රමවේද වෙත යොමු වුණා.

 

“එතැනදී මම, මගේ නිෂ්පාදනවල නිෂ්පාදන ක්‍රියාවලිය වීඩියෝපට විදිහට සකස් කරලා ‘Sayuri Munasinghe’ කියන මගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ පළ කළා. ඒ වීඩියෝ ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත වුණා. ඒ නිසා මට මාර්ගගතව ඇණවුම් ලැබෙන්නත් පටන්ගත්තා. ඉදිරියේදී රොසැල්ලා අමුද්‍රව්‍ය සාම්පලත් ඔස්ට්‍රේලියාවට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පුතා මේ වෙද්දී උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරලා හෝටල් ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හදාරනවා. ඉදිරියේදී ඔහුත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරය තවත් දියුණු කරලා, තවත් පිරිසකට රැකියා අවස්ථා ලබා දෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.”

 

‘ගෞරවය හිමිවන්නේ නැවත නැවතත් අසාර්ථකත්වයට මුහුණ දෙමින් වුවද තම අරමුණ වෙනුවෙන් නොපසුබටව උත්සාහ කරන පුද්ගලයාටයි’ යනුවෙන් ඇමෙරිකාවේ 26 වැනි ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් වරක් පවසා තිබෙනවා. ඒ අනුව බලන කල, ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී බාධක තුළින්ම තමන්ගේම මාවත ගොඩනගාගත් සයුරිටත් ඒ ගෞරවය හිමිවිය යුතුමයි…

 

නෙත්මි තෂාරා