News

හොර සිගරැට් ගිනිගෙන දැවෙයි

නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වන ලද විදෙස් දුම්වැටි 650,000 ක් විනාශ කිරීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකය ඊයේ (19දා) කටයුතු කරන ලදී.

මෙම දුම්වැටි තොගය විනාශ කෙරුණේ කොටහේනේ පිහිටි දුම්කොළ සමාගමේ යන්ත්‍ර යොදා ගනිමිනි.

මෙරට ලියාපදිංචි නොමැති සමාගමක් නමින් ඉකුත් වසරේ අගෝස්තු මස 17 වැනිදා මෙම විදෙස් දුම්වැටි තොගය සහිත කන්ටේනරය මෙරටට ගෙන්වා තිබුණි. ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් විදෙස් දුම්වැටි තොගය ගෙන්වා තිබූ බව රේගු නිලධාරීන් පවසති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි නමැති වරායෙන් විදෙස් දුම්වැටි සහිත බහාලුම MOGRAL නමැති නෞකාවට පටවා මෙරටට රැගෙනවිත් ඇති අතර, මෙවැනි බහාලුම් වරායෙන් ඉවත්කර ගැනීම සඳහා වරාය අධිකාරියේ සේවයේ නියුතු ඇතැම් නිලධාරීහු හා සේවකයින් සම්බන්ධ බවට රේගු නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

මෙලෙස හොර රහසේ දුම්වැටි ආනයනය කිරීම නිසා රජයට අහිමිවී තිබෙන බදු ආදායම රුපියල් මිලියන 35 ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී. සුනිල් ජයරත්න පැවසීය.

දේශීය වෙළෙඳපොළේ දුම්වැටියකින් රුපියල් 43.10 ක් බදු වශයෙන් අයකෙරෙන අතර, ඒ අනුව මෙම ගණන් බැලීම් සිදුකර ඇත.

මේ පිළිබඳ රේගු අවදානම් කළමනාකරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සාලිය කුමාර ගුණසේකර