අංගොඩ ලොක්කා කොල්ලකෑ කෝටි 50ක ඉඩම්
නීති විරෝධී ලෙස ඉඩම් ගොඩ කිරීම්, බලහත්කාරයෙන් නිවාස අත්පත් කර ගැනීම් වැනි අපරාධවලට එක්වූ අංගොඩ ලොක්කාගේ හිටපු ගෝලයකු වූ ‘සෙම්බු සමන්ත’ මුල්ලේරියාව පොලිසිය විසින් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී මෙසේ බලෙන් අත්පත් කර ගත් ඉඩම් කට්ටි 7ක් පොලිසිය විසින් හඳුනා ගෙන ඇත. එම ඉඩම්වල මුළු පර්චස් ප්‍රමාණය 917ක් පමණ වන අතර වටිනාකම කෝටි 50කට ආසන්න බව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
අංගොඩ ලොක්කාගේ ගෝලයකු ලෙස කටයුතු කළ මෙම සැකකරු මුදල් සම්බන්ධ ගැටලුවක් නිසා අංගොඩ ලොක්කා සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ. ඒ අනුව ලොක්කා විසින් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස මොහු ඝාතනය කිරීමට උත්සාහ දරා තිබේ. එයින් පසුව ඔහු මැනික්හින්න ප්‍රදේශයට පළාගොස් සැඟව සිට ඇත. මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ. කළුවිතාරණ විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම සැකකරුගේ නිවසද අංගොඩ ලොක්කා නමැත්තා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත. මුල්ලේරියාව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.
හේමන්ත ලියනපතිරණ
•සිරිසේන ගමගේ – කොළොන්නාව
