News

අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් ගැන සොයන්න කමිටුවක්

අයිස් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරින් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පරීක්ෂණ වලට අදාළව කමිටු පත්කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

එම කමිටු වාර්තා සතියක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම කමිටුව වෙත දැනුම් දී තිබේ.

කමිටු වාර්තා අනුව අදාළ සිද්ධින් සිදු වූ බල ප්‍රදේශවල අධීක්ෂණ දුර්වලතා පැවැති බවට සනාථ වුවහොත් එම රාජකාරි සඳහා යොදවා සිටි සුරාබදු අධිකාරිවරුන් සහ කොට්ඨාස භාර සුරාබදු කොමසාරිස්වරුන් ස්ථානමාරු කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමැතිය ද ලබා දී ඇති බව සඳහන් වේ.