News

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

පාර්ලිමේන්තුව හෙට (21) දින, ලබන 27 දින සහ 28 යන දිනවල පැවැත්වීමට අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස හෙට (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර ඉදිරි අයවැය සම්මත වන තුරු අවශ්‍ය වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම්දී ඇත්තේ, අගෝස්තු 27 වන දා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.