News

අධ්‍යාපන ඇමතිගෙන් ඩෙංගු මර්දනයට පියවර ගන්නැයි උපදෙස්

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

පාසල් සහ සෙසු අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර එම ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ යුතු බව එම අමාත්‍යංශය පවසයි.

අදාළ ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යාන කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ඒ සඳහා වගකීම් පවරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වල සහය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන ලෙසත් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.