අනේ අප ගෙන්වා ගන්න-ක්වාලාලම්පූර්හි ශ්‍රී ලාංකිකයෝ ජනපතිට කියති
කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිරවී සිටින තමන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඉල්ලා සිටිති.
විවිධ රැකියා සඳහා එරටට ගොස් සිටින 200කට වැඩි පිරිසක් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින බවද ඔවුහු සඳහන් කරති.
පසුගිය මාර්තු මාසයේදී ක්වාලාලම්පූර් නගරය ඇතුළු නගර කීපයක් වසා දැමීමට මැලේසියානු රජය කටයුතු කර ඇත. ඒ සමගම එතෙක් කරගෙන ආ රැකියා කටයුතුද මෙම ශ්‍රී ලාංකිකයන්ට අහිමි වී තිබේ.
ඒ අනුව කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව තැන තැන සිරවී සිටින තමන්ට මැලේසියා ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි බවද ඔවුහු පවසති. නමුත් මැලේසියාවේ ගුවන්යානා මෙරටට ගොඩබැස්සවීමට මෙරට බලධාරීන් අකැමැත්ත පළ කිරීම නිසා තමන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇතැයි කියා සිටිති.
‘‘ඇතැම් දවස්වලට අපිට කන්න නැහැ. දවස් කීපයක්ම බිත්තරයක් එක්ක බත් ටිකක් විතරයි ආහාරයට ගත්තේ. අපි දැනට රැඳිලා ඉන්න තැන්වල සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සෑහීමකට පත්වෙන්න බැහැ. වෙනත් රටවල්වලින් මැලේසියාවට ගොස් සිටි අය මේ වනවිට ඔවුන්ගේ රටවල්වලට පිටත්වෙලා ගිහින්. අපිට තමයි මව් රටට එන්න ක්‍රමයක් නැත්තේ. ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අපව මව්රටට ගෙන්වා ගන්නා ලෙසයි’’ යැයි ඔවුහු පවසති.
ජූඩ් සමන්ත-පුත්තලම
