අපි අනාරක්ෂිතයි ඉක්මනින් ගෙන්වා ගන්න
කුවේට් හී හමුදා කඳවුරක අනාරක්ෂිතව රඳවා සිටින තමන්ව කඩිනමින් මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකිකයන් පිරිසක් ඉල්ලා සිටිති.
කුවේට් රටේ ඉරාක දේශ සීමාවේ පිහිටි “අබ්දලී” නම් ප්‍රදේශයේ පවත්වා ගෙන යන හමුදා කඳවුරක තමන්ව රඳවා තබා ගෙන සිටින බව ඔවුන් පවසයි.
මෙම කඳවුරේ රඳවා ගෙන සිටින අය අතර, ඉන්දියාව, පාකිස්තානය, අප්‍රිකාව, බංග්ලාදේශය සහ මුරුසි යන රටවල්වලට අයත් පිරිස්ද වන අතර ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු පමණ සිටින බවද ඔවුහු සඳහන් කරති.
කොරෝනා වෛරසය ආසාදනය වූ රටවල් අතරට ක්වේටයද මේ වන විට අයත් වී ඇත. ඒ අතර එම රටේ අනවසරයෙන් රැඳී සිටි පිරිස් සඳහා පිටත්ව යාමට එරට රජය අවසර ලබා දී තිබේ.ඒ අනුව තම මව්රටට ආපසු යාම සඳහා ඉදිරිපත් වූ පිරිසක් මේ ආකාරයට හමුදා කඳවුරක රඳවා තබන්නට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.
තමන්ව රඳවා සිටින කාමරවලට වෙනත් රටවල්වල අයද ගාල් කර ඇති බවත්, ඔවුන් කිසිදු ආකාරයක ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත නොකිරීම ගැටලුවට කරුණක් වී ඇති බවද එම කඳවුරේ රැඳී සිටින ශ්‍රීලාංකිකයෝ පවසති.
මෙම කඳවුරේ රඳවා සිටි බොහෝ දෙදනකුව ඔවුන් අයත් රටවල්වල තානාපති කාර්යාලවල නිලධාරීන් පැමිණ රැගෙන ගියත් කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් මේ වන තුරු සිදු කර නොමැති බවද කඳවුරේ රැඳී සිටින පිරිස් කියා සිටිති.
ශ්‍රී ලංකාවට යන්නේ නම් ගුවන් යානයක් සැපයීමට හැකි බවට එරට බලධාරීන් පවසන නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වන බවද කඳවුරේ රැඳී සිටින පිරිස් කියා සිටිති. මේ අතර ක්වේට් හී අනවසරයෙන් රැඳී සිටි පිරිස්වලට එරටින් ඉවත් වීම සඳහා ලබාදී ඇති පොදු සමා කාලය මාසයකින් දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත.
යම් ආකාරයකින් ඔවුන් මෙරටට ගෙන්වා ගත හොත් නිරෝධායන කටයුතු සිදුකළ යුතු බැවින් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් සකස් කරන තුරු යම් කාලසීමාවක් අවශ්‍ය බව රජය සඳහන් කර ඇත.
ජුඩ් සමන්ත- පුත්තලම
