නවතම ප්‍රවෘත්ති

අපි ‘එදා රෑ’ චිත්‍රපටය බලමින් ඉන්නැද්දි එකපාරට දුව අඬන්න ගත්තා… ශේෂාද්‍රි ප්‍රියසාද්

2011 වසරේදී ‘ලේඩීස් වර්සස් රිකී බාල්’ (Ladies vs Ricky Bahl) චිත්‍රපටය තුළින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි පරිනීති චොප්රා ඉතා කෙටි කලකින් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් බවට පත්විය. එපමණක් නොව, ෆිල්ම් ෆෙයාර් සම්මානයක් ඇතු‍ළුව සම්මාන කීපයක්ද ඇයට හිමිවිය. නමුත් 2021 වසරේ ඇයට එක්තරා අභියෝගයකට මුහුණපෑමට සිදුවූ අතර, ඒ ඇය ප්‍රධාන නිළියගේ චරිතය නිරූපණය ක‍ළ චිත්‍රපට ත්‍රිත්වයක් එකම කාල සීමාවක (පෙබරවාරි – මාර්තු) තිරගතවීමයි. ඒ ‘ද ගර්ල් ඔන් ද ට්‍රේන්’ (The Girl on the Train), සන්දීප් ඕර් පිංකි ෆරාර් (Sandeep Aur Pinky Faraar) සහ සයිනා (Saina) චිත්‍රපටයි. ඒ අභියෝගයට සාර්ථකව මුහුණදීමට ඇයට හැකියාව ලැබුණේ නැත. ඒ, එකී චිත්‍රපට ත්‍රිත්වයම වාණිජමය වශයෙන් (Box Office) අසාර්ථකවීම නිසයි. මේ වනවිට අපේ රටේ ජනප්‍රිය නිළියක්ද එවැනි අභියෝගයකට මුහුණදී සිටියි. ඒ ශේෂාද්‍රි ප්‍රියසාද්ය. මේ දිනවල ඇය ද රංගනයෙන් දායකවන චිත්‍රපට තුනක් එකවර තිරගත වෙමින් තිබේ. ඒ, එදා රෑ, අග්නිජය සහ රහයි ජීවිතේ චිත්‍රපටයි. නමුත් පරිනීති මෙන් නොව ශේෂාද්‍රි ඒ අභියෝගය සාර්ථකව ජයගෙන ඇති අතර, ඉහත කී චිත්‍රපට ත්‍රිත්වය මේ වනවිටත් අතිසාර්ථකව දිවයිනපුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙමින් පවතියි. ඒ අතරිනුත් ‘එදා රෑ’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ දින 75ද පසුකරමින් රජ ගමනේය. ඒ නිසාම මෙවර අප ‘ධරණී’ කවරය සරසමින් සොඳුරු කතාබහක් වෙනුවෙන් ආරාධනා කළේ ශේෂාද්‍රි ප්‍රියසාද්ටයි.

 

මේ දිනවල ශේෂාද්‍රිට සිනමාව පැත්තෙන් සුබ කාලයක් උදාවෙලා නේද?

 

ඔව්, මං රංගනයෙන් දායක වෙන චිත්‍රපට 3 ක් මේ වෙනකොට සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තියෙනවා. ඒ අරුණ ජයවර්ධන මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘එදා රෑ’, මාංචන තාරක පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘අග්නිජය’ සහ තාත්තා (දිනේෂ් ප්‍රියාසාද්) විසින් අධ්‍යක්ෂණය කළ ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපට තුන. ඒ චිත්‍රපට තුනටම හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ අතරින් ‘එදා රෑ’ චිත්‍රපටයට හිතාගන්නත් බැරි තරමින් ප්‍රතිචාර ලැබෙනවා.

 

‘එදා රෑ’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මොනවද?

 

මං එහි රඟපාන්නේ ‘ශිරාණි’ කියන චරිතය. ඒ චරිතය ලස්සනට රඟපානවා සහ ඉතා හොඳ සාධාරණයක් කරනවා කියලා චිත්‍රපටය බලපු හැමෝම වගේ කියනවා. ඒ ප්‍රතිචාර ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඇත්තටම ‘එදා රෑ’ බලන්න යන්නේ අපේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට ආදරේ කරන, එතුමාගේ ගීතවලට ආදරේ කරන රසික රසිකාවියෝ. දන්න තරමින් චිත්‍රපටය දෙතුන්පාර නරඹපු සමහරු පවා ඒ අතර ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඒ ආදරේ තමයි අපිටත් මේ විදිහට නොඅඩුව ලැබෙන්නේ. හරිම සතුටුයි ඉතින්.

 

ශේෂාද්‍රි කියන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ රසිකාවියක්ද?

 

ඇත්තටම ඔව්. එතුමාගේ ගීත මම පුංචි කාලේ ඉඳන්ම අහනවා. ඒ අතරින් මං හරි ආසයි ‘එදා රෑ ගුවන්තොටුපොළේදී’ කියන ගීතයට. වැඩේ කියන්නේ ‘එදා රෑ’ චිත්‍රපටියේ ගීත අතරින් ඒ ගීතයට පෙනී ඉන්න ලැබුණෙත් මටමයි.

 

ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ මිල්ටන්ගේ චරිතය නිරූපණය කරපු රොෂාන් රවීන්ද්‍රගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් අපි දැනගන්න කැමතියි?

 

රොෂාන් අයියාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ නිසයි මට ශිරාණි කියන මගේ චරිතය මේ තරම් හොඳට කරගන්න ලැබුණේ. ඇත්තටම රොෂාන් අයියාත් එක්ක රඟපාන එක පහසුයි.

 

‘එදා රෑ’ චිත්‍රපටයේ ඔහුගේ රංගනය ඔබ දකින්නේ කොයි විදිහටද?

 

කෙටියෙන්ම කිව්වොත් ඒක නම් අතිවිශිෂ්ටම රංගනයක්. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතයට ඔහු හැමඅතින්ම ගැළපුනා. ඒ වගේම ඔහු ඒ චරිතයට උපරිම සාධාරණයක් කළා. මේ චිත්‍රපටයට මේ තරමින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙන්න ඔහුත් එක හේතුවක්.

 

ඔබේ පවුලේ උදවියගෙන් ඔබේ රංගනයට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

 

ඒ අයත් මගේ රංගනය ගැන සෑහෙන්න සතුටු වුණා. හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි චිත්‍රපටය බලලා දුවගෙන් ලැබුණේ වෙනස්ම ප්‍රතිචාරයක්.

 

දුවගෙන් ලැබුණු ඒ ප්‍රතිචාරය මොකක්ද?

 

(සිනාසෙමින්) එයා තවම පොඩියි. ලොකුවට දේවල් තේරුමක් නෑ. කොහොම හරි ‘එදා රෑ’ චිත්‍රපටියේ මංගල දර්ශනය බලන්න දුවවත් එක්ක ගියා. එදා චිත්‍රපටය බලමින් ඉන්නැද්දි එකපාරට දුව අඬන්න ගත්තා. මං බොහොම අමාරුවෙන් නළවගත්තේ. පස්සේ ගෙදර එද්දි එහෙම ඇඬුවේ ඇයි කියලා ඇහුවා. දුව කිව්වා චිත්‍රපටියේ මං අඬනවා දැකලා එයාටත් දුක හිතුණලු.

 

‘එදා රෑ’ චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ ඉදිරියේදී මියගිය ජනප්‍රිය පුද්ගලයින්ගේ චරිත කතා ඇසුරින් චිත්‍රපට රැල්ලක් නිර්මාණය වන බවට පෙරනිමිති පහළවෙමින් තියෙනවා. ඔබ හිතන විදිහට නම් කාගේ චරිතයක් සිනමාවට නැගුවොත් ‘එදා රෑ’ තරමින්ම සාර්ථක වෙයිද?

 

එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා වැනි කවුරුත් ආදරේ කරපු කලාකරුවන්ගේ චරිත ඇසුරෙන් චිත්‍රපට කළොත් සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. හැබැයි ඒ චරිතවලට ගැළපෙන නළු නිළියෝ තෝරගන්න ඕන. එහෙම නැතුව කරලා තේරුමක් නෑ.

 

ඔබ රංගනයෙන් දායක වන ‘අග්නිජය’ චිත්‍රපටයත් මේ දිනවල සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ඒ ගැන කිව්වොත්?

 

‘අග්නිජය’ කියන්නේ තාරුණ්‍යය මත් උවදුරින් මුදාගන්න එක්තරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ දිවි නොතකා සටන්වදින වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ කතාවක් අළලා නිර්මාණය කළ චිත්‍රපටියක්. එහි මං ‘යශෝධා’ කියලා තරුණියකගේ චරිතයකුයි නිරූපණය කරන්නේ. මගේ නංගි ශනුත් (ශනුද්‍රි ප්‍රියසාද්) එහි රඟපානවා. ඇත්තටම ඒකත් ලස්සන පිටපතක් තියෙන චිත්‍රපටයක්.

 

ඔබේ පියා අධ්‍යක්ෂණය කළ ‘රහයි ජීවිතේ’ චිත්‍රපටයත් පසුගිය නොවැම්බර් 13 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ඒ ගැනත් කියමු නේද?

 

තාත්තා ‘රහයි ජීවිතේ’ චිත්‍රපටය අවසන් කරලා දැන් අවුරුදු කීපයක් වෙනවා. ඒත් විවිධ හේතු උඩ එය තිරගතවීම වසර කීපයක් ප්‍රමාද වුණා. ඒ වගේම කියන්න ඕන, ‘රහයි ජීවිතේ’ චිත්‍රපටය කියන්නේ දැනට ජීවතුන් අතර නැති ටෙනිසන් කුරේ මහත්මයා රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය. එතුමත් සමඟින් මං තමයි ‘රාධිකා’ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඊට අමතරව දිල්හානි අශෝකමාලා, ශනුද්‍රි ප්‍රියසාද්, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, සංජය ලීලාරත්න, මොහාන් හෙට්ටිආරච්චි, රොනී ලීච්, පියුමි බොතේජු ඇතුළු නළු නිළියන් රැසක් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය ලබාදෙනවා.

 

නිළියක් විදිහට ඔබේ පියාගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරන එක පහසුද?

 

(සිනාසෙමින්) එහෙම නෑ. ගෙදරදි මම එයාගේ දුව වුණාට, දර්ශන තලයෙදි තාත්තට මං තවත් එක නිළියක් විතරයි. එයා අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ ඉඳන් අනික් නළු නිළියන්ට උපදෙස් දෙන්නේ, අණදෙන්නේ කොහොමද මටත් ඒක ඒ විදිහමයි. දර්ශන තලයෙදි දුව කියලා මට විශේෂ සැලකිලි නෑ.

 

එකම අවස්ථාවක ඔබ රංගන දායකත්වය ලබාදෙන චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වීම පිළිබඳ ශේෂාද්‍රිගේ අදහස කිව්වොත්?

 

ඒ ගැන සතුටුයි. ඒ වුණත් ‘රහයි ජීවිතේ’ චිත්‍රපටිය මීට කලින් තිරගත වුණා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒක තිරගත වෙන මේ මොහොත වෙනකොට ඒ චිත්‍රපටියේ රඟපෑ රංගන ශිල්පීන් කීපදෙනෙක්ම ජීවතුන් අතර නෑ. ඒ නිසා චිත්‍රපටියක වැඩ අවසන් වෙලා අඩුතරමින් අවුරුද්දක් ඇතුළතවත් ඒක තිරගත වෙනවා නම් හොඳයි.

 

නිළියක් විදිහට ශේෂාද්‍රි වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. ඒකට හේතුව මොකක්ද?

 

මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවට. ඒ නිසා වැඩිපුර රඟපෑවේ චිත්‍රපටවල. හැබැයි මං ටෙලිනාට්‍ය කීපයකම හිටියා. ඉදිරියේදි කොටස් 50ට අඩු ටෙලිනාට්‍යවලින් ආරාධනා ලැබුණොත් සලකලා බලනවා.

 

මේ වෙනකොට සිංහල සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ?

 

පසුගිය වසරවලදි සිංහල සිනමාවේ යම්කිසි කඩාවැටීමක් අපි දැක්කා. කොවිඩ් වසංගතය තමයි ඊට ප්‍රධාන හේතුව වුණේ. ඒත් දැන් දැන් යළිත් සිනමාශාලා ප්‍රේක්ෂකයින්ගෙන් පිරෙන යුගයක් ආරම්භ වෙලා තියෙනවා. ඒක සතුටට කාරණයක්.

 

ඔබේ අක්කා දිනක්ෂි ප්‍රියසාද්. නංගි ශනුද්‍රි ප්‍රියසාද්. ඒ අක්කා නගෝ ගැන ශේෂාද්‍රිට යමක් කියන්න ඇති?

 

අක්කා මේ වෙනකොට නිළියක් විදිහට හොඳම තැනක ඉන්නවා. නංගිත් එයාගේ පොඩි වයසට ලොකු දුරක් ඇවිත් තියෙනවා. ඒ දෙන්නා ඉන්න තැන ගැන සහෝදරියක් විදිහට හුඟාක් සතුටුයි.

 

ශේෂාද්‍රි එදා රංගනයට අඩිය තිබ්බේ 2011 වසරෙදි තිරගත වූ උදයකාන්ත වර්ණසූරියගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයෙන්. එහෙම බැලුවම ඒ චිත්‍රපටිය තිරගත වෙලා දැන් අවුරුදු 15 ක්. ඒත් තවමත් ඔබේ පෙනුම නම් එදා වගේමයි. රහසක් තියෙනවද?

 

(සිනාසෙමින්) එහෙම පේනවද? එහෙනම් මට සතුටුයි. ඇත්තටම ඔය කතාව නම් හුඟාක් අය කියනවා. ඒත් ඉතින් ඒකට රහසක් නම් නෑ. මං විශ්වාස කරන විදිහට රහස, මං මාව ආදරෙන් බලාගන්න එක තමයි.

 

රුවන් එස්. සෙනවිරත්න

ඡායාරූප – සජීව ලක්ෂාන්

Outfit – Bollywood Boutique