News

‘‘අරුණ’’ පුවත ගැන මැතිසබයේ කතා කරයි

 

කොවිඩ් රෝගීන් පන්සිය ගණනක් සොයා ගැනීමට නොහැකිව ඇති බවට ඊයේ (08 වැනිදා) ‘අරුණ’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර (පො.ජ.පෙ) ඊයේ (8වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

එම පුවත සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු කළ ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙසේ කීය.

කොවිඩ් වැලඳුණු රෝගීන් පන්සිය ගණනක් රෝහල් ගත වෙලා. තවත් පන්සිය ගණනක් සොයා ගන්න බැහැ කියා අද ‘‘අරුණ’’ පුවත් පතේ තියෙනවා. මේ අය අද කුමන කුමන තැන්වලද ඉන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අපි හැම දෙනාම විවිධ ප්‍රදේශවලට යනවා.

කථානායකවරයා – කොවිඩ් ගැන දැන් මන්ත්‍රීවරුන් දෙන්නෙක් ප්‍රශ්න කළා. සෞඛ්‍ය ඇමැතිවරියට අපි ඒ ගැන දැනුම් දෙන්නම්.

හේෂා විතානගේ – මේ මන්ත්‍රීතුමා ඇසූ ප්‍රශ්නය වැදගත්. නමුත් රීති ප්‍රශ්න කියමින් රටේම දේවල් කියන්න ගියොත් අපිට ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න තියෙන වෙලාව නැති වෙනවා.

කථානායක – ඒක තමයි මම හැම තිස්සේම කියන්නේ

චමින්ද විජේසිරි – මේ ආණ්ඩු පක්ෂයේ ජගත් කුමාර මන්ත්‍රීවරයා කියන්නේ ඇත්ත. එතුමත් ඇත්තටම මේ රටේ සිද්ධ වෙන දේ ගැන දන්නේ නැහැ. ආණ්ඩුව කරන දේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු දන්නේ නැහැ.

අජිත් අලහකෝන්