News

අවම බස් ගාස්තුව රු.10 දක්වා අඩුකරන්න සමස්ත ලංකා බස් මගීන් ඉල්ලයි

පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩු වූ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය කියයි.

මේ අනුව පසුගිය සමය තුල ඩීසල් ලීටරයක මිල රුපියල් 19කින් (7+7+5) අඩු වී තිබෙන නමුත් බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවී තිබීම කණගාටුදායක තත්ත්වයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මීට පෙර ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් අඩු වූ මොහොතේදී බස් ගාස්තු සියයට 2කින් අඩු කළ ද එය බොහෝ බස් මාර්ග වල සංශෝධනයක් සිදු නොවුනු බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ බස් ගාස්තු සංශෝධන සූත්‍ර‍ය, ව්‍යවස්ථාවටත් වඩා පැටලීමක් බවට මේ වන විට පත්වී තිබෙන අතර මීට සම්පුර්ණයෙන් ම වග කිව යුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් සංගම් ප්‍රධානීහු සමඟ ඊනියා සාකච්ඡාවන් පවත්වමින් මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවට සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ විශ්වාස කරන බවයි.

ඒ නිසා අද (05) සිදු කළ ඊනියා සාකච්ඡාවේ දී බස් හිමියන් සමඟ එකඟ වූ පරිදි බස් ගාස්තු සංශෝධනය දෙසැම්බර් 21 වන තෙක් කල් නොදමා වහාම ක්‍රියාත්මකවන පරිදි අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් මැදිහත් විය යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටියි.