News

අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට අවසන් විභාගය ළඟම වෛද්‍ය පීඨයේදී

වෛද්‍ය පීඨයන්හි අවසන් වසර සිසුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයට ආසන්න වෛද්‍ය පීඨයේ දී අවසන් විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

අවසන් විභාගයට පෙනී සිටීම සඳහා වෛද්‍ය පීඨ හතක සිසුසිසුවියෝ එක්දහස් හාරසියයක් පමණ සිටිති.

මෙම පිරිසට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ (05 වැනිදා) ‘අරුණ’ට පැවසීය.

මෙලෙස තමන් පදිංචි ප්‍රදේශයට ආසන්න ම වෛද්‍ය පීඨයේ දී විභාගයට පෙනී සිටීමට සිසුන්ට පහසුකම් සැලසීම මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් යැයි ද සභාපතිවරයා කීවේය.

සියලුම සිසුන්ට පෙනී සිටීමට සිදු වන්නේ එකම විභාගයකට හෙයින් මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සිසුන්ට පහසුවක් යැයි ද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම ප්‍රමාද නොකළ යුත්තක් යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.

වෛරසයේ බලපෑම සිදුනොවූයේනම් මේ වන විට මෙම සිසුන් සිය අවසන් විභාගයෙත් අවසානයට පැමිණීමට ඉඩ තිබූ බවත් සභාපතිවරයා කීවේය.

 

නිලන්ත මදුරාවල