අසූනවයේ ඝාතනය වූ කොබෙයිගනේ රූමතිය කොළඹ කමතේදී යළි උපදියි…
‘ටික් ටික්, ටික් ටික්…’
ඔරලෝසුවේ තත්පර කටුව රටාවකට ගමනේය. කොබෙයිගනේ ඔරලෝසු සාප්පුවේ කාර්මිකයාගේ හිත ද ඒ ලෙසමය. රටාවක් තිබුණ ද එය කඩිනම් ගමනකි. ඩිංගිරියාගේත්, ඔහුගේ ඇඹේණියගේත් හිත් ඊටත් වඩා වේගයෙන් ඩබල් එකේ ගැහුණා විය හැක. මේ තුන් කට්ටුවටම ගෙවෙන තත්පරයක් පාසා හිත දවන මතකයකි. ඇතැම්විට ඒ තත්පර ආපස්සට, ආපස්සට ගෙනයාමට ඔවුන්ගෙන් අයෙකුට හෝ හැකි වූවානම් ඒ සියල්ල වෙනස් වන්නට ඉඩ තිබිණ. එසේ නම් ඇය ඒ ලිපි නොලියන්නට ඉඩ තිබුණා විය හැක. එසේ වූවානම් මතකයක් පමණක් ඉතිරි කර සියල්ල මිහිදන් නොවනු ඇත.
උපකල්පන කෙසේ වුවද ඈ ඒ ලිපිය ලීවාය. ඒ ඇයගේ මිතුරියක වූ ගුණවතී ලවාය. ලිපිය නැවත නැවත කියවමින් ඈ තුටු වූවාය. දඟකාර, හැඩකාර ඇය නිලන්තිය. ලිපිය කියවමින් ඈ අප සම්මුඛයේ සිටියාය. එකවරම ඈ අත වූ ලිපිය ගුණවතී උදුරාගත්විට, නිලන්ති බොරු තරහක් ගත්තේ ලිපිය තැලී පොඩිවී යතැයි බියෙනි. ඔරලෝසු කඩේ අයියා ගැන මිතුරියට අනුකම්පාවක් තිබිණ. එහෙත් නිලන්තිට එහි වගේ වගක් නැත. කාකි ඇඳුමින් වැසී ගිය කඩවසම් සිරුර ඇගේ සිත සොරාගෙන අවසන්ය. ඔරලෝසු සාදන්නාට එහි තවදුරටත් ඉඩක් නැත. ගුණවතී විටින් විට අනතුරු ඇඟවීම් කළ ද නිලන්ති සිටියේ සිහින ලෝකයකයි. තමා බලන්නට නොපැමිණියා වුව ද ඇයට කාකි සූට්කාර අජිත් ගැන තිබුණේ බලවත් විශ්වාසයකි.
‘අජිත් අයියේ, ඔයාගෙ හදවත ගල් කැටයක් ද? මේ අහිංසක නිලන්තිව සිහි වෙන්නෙ නැද්ද?’
යනුවෙන් ලියා තිබූ ලිපිය නිලන්ති, ගුණවතීට භාර කළේ තැපැල් කිරීමටයි. ඒ අතරේ ඇයට හිමිවූ ආදරය සැබෑවක්දැයි යන සැකය තීව්ර කළේ එහි ගැයුණු ගීතයයි.
‘චේතනා පිරිසිදු නෑ ආදරේ
මායාවකි ලෝකයේ මිනිසුන් දකිනා…’
නිලන්ති සිටියේ සැබෑවත්, මායාවත් අතර සැරිසරමිනි. අජිත් ගැන කුකුසක් තිබුණ ද ඔහුගේ ක්‍රියා පිළිවෙත සාධාරණීකරණය කරන්නට ඇයට ඕනෑ විය. බොහෝ පිරිමින් පෙරළන පොතට ඒ වෙද්දීත් හසුවී සිටි නිලන්ති එහි අසීරුම තැනකට පැමිණ සිටියාය. ආදරයේ සීමා මායිම් පැන යාම දෙන්නා, තුන්දෙනා වන ලකුණු කැඳවා තිබිණ. තමාගේ ප්‍රේමවන්ත කාකි සූට්කාරයා සොයා යනවා හැර විකල්පයක් ඇයට තිබුණේ නැත. ඈ සිය අඩුම කුඩුම බෑගයකට ඇසුරුවාය.
“ඔය කොහෙද යන්නෙ?”
මවගේ පැනය හමුවේ නිලන්ති ක්‍රමයෙන් සියල්ල දිග හරින්නට විය. කොහොමටත් තනිව හිනැහෙන, තනිව කියවන නිලන්තිගේ චරියාවේ වෙනස මවටත් ඒ වෙද්දී ඉව වැටී තිබිණ. ඇගේ හිතේ තිබූ බිය ඇවිලීමට ගම්මුන් කියන කතා ද හේතුවකි. අවසානයේ ඈ සිය පෙම්වතා වෙත පිටව යාමට හදද්දී වේගවත් නමුදු බිඳුණු හඬින් මවගේ මුව විවර විය.
“ඔය කළුගලේ ඔළුව ගහගන්නද හදන්නෙ?”
පොළවේ සිට හඳ අල්ලන්නට බැරි බැව් හැඬුම් අතරින් කොතෙකුත් මව පැහැදිලි කළ ද, නිලන්තිට ද කරන්නට දෙයක් තිබුණේ නැත. කෙක්කෙන් පොල් කඩන ඩිංගිරියාගේ දූ වූ නිලන්තිට, ඔරලෝසු කඩේ ළමයා සමග පෑහෙන්නටත් අමාරු වෙද්දී පොලීසියේ ඕ.අයි.සී. මහතෙකු වෙත කෙසේ යන්නදැයි යන සැබෑව නූගත් අම්මාද දැන සිටියාය.
“මට එයාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.”
ඒ තීරණාත්මක දැනුම්දීම හමුවේ මෑණියන්ගේ දෑත් හිසට ගියේ නිරායාසයෙනි. පරාජය භාරගත් ඈ පොලිසියේ මහත්තයාගේ දෙමාපියන්ට එන්න කියන්නැයි නිලන්තිට කීවේ කරන්නට දෙයක් නැති තැනය. එහෙත් සිහින ලෝකයක සැරිසැරුවද තමන්ගේ කුඩා පැලට ඔවුන් කැඳවා ඒම කරන්නට බැරි බව නිලන්තිද දැන සිටියාය. අවසානයේ බනිමින් ද, බිම හැපෙමින් ද, වැළපෙමින් ද ඒ අසරණ අම්මා නිලන්තිගෙන් ඉල්ලා සිටියේ දරුවාද හදාගෙන නිවසේ සිටින්නැයි කියාය.
“මං යනවා. මං ආයෙ ආවෙ නැත්තං මං ගැන හොයන්න එපා.”
මවගේ හැඬුම් ඇවිටිලි කිරීම් අතරින් හිත ගල් කරගත් නිලන්ති, අජිත් වෙත ගියාය. කිතගම හන්දියේ දී නැවත අජිත් හමුවීම ගැන නිලන්ති සතුටු වුව ද අජිත් සිටියේ සුපුරුදු වෙස් මුහුණ පැලඳගෙනයි. ඔහුගේ චාටු කතා නිලන්ති රැවටීමට සමත් වුවද නිලන්තිගේ කතාවකින් අජිත්ගේ ද ඇස් උඩ ගියේය. කලබලය අතරේ ඇති වූ කේන්තිය ද සමග අජිත්ට තමාගේම බොරු පවා අමතක විය.
“අජිත් අයියෙ, ඔයා මාව කසාද බඳිනවා කියන්නෙ මං ඔයත් එක්ක පෝරකේට වුණත් යන්න එනවා.”
ඕනෑම දේකට මුහුණදීමට හිත හදාගෙන සිටි නිලන්ති, පොලිසියේ බංගලාවට යාම ගැන පසුවූයේ දැඩි සතුටකිනි. බංගලාව සූදානම් කිරීම පැවරුණේ චූලසිරිටයි. ගමේම අවුරුදු කුමාරිය වූ නිසාදෝ චූලසිරිටද නිලන්ති ගැන හිතේ කොනක කුමක්දෝ හිරිවැටීමක් තිබිණ. එහෙත් ස්ථානාධිපතිවරයාට අයිති දේ ගැන පොලිසියේ අතවැසියා වූ චූලසිරි කුමක් කරන්න ද? අනෙක් අතට රූප රාජිනියක් නිසා වුව ටයර් සෑයක දැවෙන්නට චූලසිරිට ඕනෑ වූයේ නැත.
වියරු සිනහව ද සමග නිලන්ති රැගෙන බංගලාවට ආ අජිත්ගේ හිතේ වෙනත් බරපතළ සැලැස්මක් තිබිණ. 88/89 භීෂණ යුගයේ පැවති සැබෑ අඳුර පරයන අන්ධකාරයකට රාත්‍රිය එළැඹෙමින් තිබූ හෝරාවක නිලන්තිගේ ඇඳුම් බෑගය වෑන් රථයට දමන්නැයි අජිත්, චූලසිරිට අණ කළේය. හොඳම ප්‍රේමවන්තයකුගේ ව්‍යාජ භූමිකාව රඟමින් නිලන්තිට වාහනයේ දොර හැර දුන් අජිත්, පසුව රියැදුරු අසුනට ගියේය. තමාගේ රාජකාරී මැෂින් තුවක්කුව ද අජිත් අමතක කළේ නැත. ඒ කාලයේ පොලිස් නිලධාරියකුට පෞද්ගලික ගමනක් වුව, ගිනි අවියක් නොමැතිව යාම අවදානම්සහගතය. ඇරත් නිලන්තිට තම පෙම්වතා ගැන සැක නැත. වතු අධිකාරිවරයා රෑ කෑමකට එන්නයැයි කී බව අජිත් නිලන්තිට කීවේය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෙම්වතිය ලෙස පෙනී සිටීමේ ගෞරවය ඇගේ හිතේ ප්‍රීති සිතිවිලි මවමින් තිබිණ. චූලසිරි ද වාහනයේය. ටික දුරක් ගොස් රථය නතර කෙරිණ. ඒ කිතගම හන්දියයි.
“මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා.”
පෙම්වතාගේ වචනයට අවනත වූ නිලන්ති පෙරමුණ ගත්තාය. අජිත් ඇගේ පසුපසිනි. එක්වරම ඔහු සිනාසෙමින් සිය අවිය නිලන්තිට එල්ල කළේය. පෙම්වතියට පසුපස සිට කොකා ගස්සන්නට තරම් පොලිස් ස්ථානාධිපතිවරයා නිවටයෙකු වූයේය. අජිත්ගේ දරුවාද කුසේ දරාගෙනම ඈ බිම ඇද වැටුණාය.
“චූලසිරි, ඔය ටයර් දෙක අරං වරෙං.”
ඒ දක්වා සිදුවූ සියල්ල දුටු චූලසිරි, අජිත්ගේ නියෝගයට අවනත වූයේය; ටයර් ගෙනාවේය. තමා මෙතෙක් කල් ප්‍රේමයෙන් සිප වැලඳගත් නිලන්තිගේ සිරුර වටා අජිත් ටයර් දැමූයේ චූලසිරිගේ සහයෙනි. පසුව ඊට පෙට්‍රල් වත් කිරීමට ඔහු පියවර ගත්තේය.
“ගිනි තියපං”
ඕ.අයි.සී.ගේ ඒ අණට නතු වෙන්නටනම් චූලසිරිගේ හිත නැවුණේම නැත. අවසන තමා සමග පෝරකයට වුව යාමට සූදානම්ව සිටි සුරූපිනිය වෙත අජිත් දැල්වූ ගිනිකූර විසි කළේය. ‘හෝ…ස්…’ ගා එහි ගිනි නැගෙද්දී බලා සිටි සියල්ලන්ගේ හිත් ගිනි දැල්වුණු බවට සැක නැත. ඝන අඳුර අතරින් ඇති මූසල ශබ්ද කෙමෙන් වියැකෙද්දී වේදිකාව මතින් ස්වර රටා ඇසෙන්නට විය.
‘මා ඉතින් කෙසේ – පවසන්නදෝ මෙසේ
මම යමි නුඹෙන් මිදී දුර ඇදී
ආදරේ නැතී හිතකින් ඵලක් නැති
නුඹ කාගෙදෝ පෙමක් බලා හිඳී
ලෝකයක් වගේ ප්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ මුසාවන්…’
උමාරියාගේ හැඟීම්බර හඬ ඇසෙද්දී නිලන්ති ගැන ඇති වූ සියුම් වේදනාව මාගේ කම්මුල්වලට ද දැනෙමින් තිබිණ. එය මා දෙපස සිටි අයට ද එසේමය. ඒ වේදනාත්මක හැඟීමෙන් සිටිය දී දුවගේ ට්‍රන්කා පෙට්ටියේ තිබූ ලිපි කිහිපයක් අහිංසක ඩිංගිරියාට හමුවී තිබිණ. ඒ වෙද්දීත් කිතගම හන්දියේ දැවෙමින් තිබූ සිරුරේ අළු අතරින් තමා දියණියට පැලඳූ සුරය ඔහු දැක අවසන්ය. එහෙත් දුව ඉතිරි කළ සාක්ෂිය සිහිවටනයක් ලෙස හෝ තාත්තා රැගෙන නොගියේය. ඒ තාත්තාට හිත වාවන්නේම නැත; උන්දෑට මහා ධනයක්, බලයක් ද නැත; කළුගලේ ඔළුව ගසාගන්නට ද බැරිය. එහෙත් තමන් මලක් සේ බලාගත් දුවට වූ අසාධාරණය දැක දැක නිහඬවම සිටීමට ද ඩිංගිරියාට ඕනෑ වූයේ නැත. කෙක්කෙන් පොල් කැඩුවාට උන්දෑ මෝඩයකු නොවේ. දරුවා නැතැයි කීමට කොබෙයිගනේ පොලිසියට ගියවෙලේ ස්ථානාධිපතිවරයා එය තඹයකට මායිම් නොකළද ඔහු තමන් දන්නා දේවල් ගැන කට හෙලවූයේ නැත. එතැනින් සාධාරණයක් නොවෙද්දී ඔහු නිකවැරටියට ගියේ දියණියට ඕ.අයි.සී. මහත්තයා එවු ලිපිය ද රැගෙනය. මොකද්දෝ හේතුවකට ඩිංගිරියා එහි කොපියක් ගත්තේය. එසේ වුවත් නිකවැරටිය පොලිසිය ලිපිය වෙනස් කර තමන්ට වංචා කරාවියැයි ඔහු හීනෙන්වත් සිතුවේ නැත. නොසිතූ දේම සිදුව තිබිණ. එහෙත් ලිපියේ කොපිය ඔහු සතුය.
සොබාදහම හෙමිහිට සියල්ල අමුණමින් තිබිණ. එදා සියල්ල දුටු චූලසිරි, අජිත්ගෙන් මිදී පලාගියේය. පෙම්වතිය ඝාතනය කළ අජිත්ට, චූලසිරි කවුද? එය චූලසිරි දැන සිටියේය. ජේ.වී.පී.කාරයන් අල්ලන්නට යැයි කියා දැදුරු ඔය පාලම අසලට රැගෙන ගිය වෙලේ මුත්‍රා පහ කිරීමට අවැසි බව පවසා කැලෑ වැදුණු චූලසිරි පසු නොබලා දිව්වේ එනිසාය. පසුව ඔහු හමුදාවට බැඳුණේය. එහෙත් ඔහුට අජිත්ගෙන් ගැලවීමක් නොවීය. අවසානයේ වසර එකහමාරකට පසු චූලසිරි සිය ප්‍රධානීන්ට සිදුවීම දැන්වීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. චූලසිරිගේ සාක්ෂිය, සුරය, ඩිංගිරියා සොයාගත් ලියුම එකිනෙක පෑහෙද්දී තවත් දේවල් ඒ වටා එකතු විය. ජෝතිරත්නට අයත් වාහනයට ටයර් දෙකක්ද පටවා අජිත්ට ගෙනත් දී තිබුණේ ගුණරත්නහාමිය. පසුව ඔහුට වෑන් රථයේ තිබී කොණ්ඩා කට්ටක් ද හමුවිය. එපමණක් නොව, රේඩියෝවෙන් එදින බණ ඇසූ යුවළකට ද වාහන හඬ, වෙඩි හඬ ඇසී තිබිණ. ඒ සියල්ල එකිනෙක අමුණමින් එකල කතා කළ රජයේ නීතිඥයකු සිටියේය. ඒ බව සිහි කැඳවුව ද වේදිකාවට ආවේ ඔහු නොව, කසුන් කල්හාරයි.
‘ආදරේ ගැන කෙටි යෙදුම්
ජීවිතේ ගැන මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්….’
කසුන් එසේ කියා යද්දී, කොබෙයිගනේ රූමතියගේ පාෂාණිභූත මතකය හිත දවද්දී, ඔහු වේදිකාවට ගොඩ වූයේය.
“නිලන්ති ඇත්තටම රැඩිකල් ද? නිලන්තිගේ අප්පච්චි ඩිංගිරියා රැඩිකල් ද? ඩිංගිරියාගේ රැඩිකල්කමද ජානවලින් නිලන්තිට ආවේ?”
ඒ ඔහු නැගූ පැනයයි. ඔහු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයි. නිලන්තිට සාධාරණයක් කරනු වස් සිය දැනුම, හැකියාව, නිර්මාණශීලීත්වය හෙතෙම සුමටව මෙහෙයවීය. නිලන්ති නිවසින් යද්දී කළ ප්‍රකාශය, දැවී ගිය සිරුරේ අළු අතර වූ සුරය, ඩිංගිරියාගේ හැසිරීම, ට්‍රන්කා පෙට්ටියේ තිබී හමු වූ ලිපි සහ චූලසිරිගේ සාක්ෂි ඔස්සේ ආරම්භ කළ ගමන අවසානය තෙක් රැගෙන ගිය ආකාරය ඔහු එක පෙළට කියාගෙන ගියේ කතාන්දරයක් ලෙසිනි. හාවක් හූවක් නැතිව සියල්ලෝ එය අසා සිටියහ. නිලන්ති කෙරෙහි ඒ වෙද්දීත් ඇති වී තිබූ කම්පනය සේම, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගේ චතුර සහ ආකර්ෂණීය වාග් විලාසය ද ඊට හේතු වූ බවට සැක නැත. ඉහළ අධිකරණ විනිසුරන් ප්රමුඛ විවිධ මට්ටමේ නිලධාරීන්, පොලිස් ප්‍රධානීන්, නීතිඥයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ආදී විවිධ අංශවල පුද්ගලයෝ මේ කතාව අසා සිටියහ. ජනාධිපති නීතිඥවරයා වේදිකාගත වනතෙක් පැවති රංගනය ඒ කිසිවකුට රංගනයක් පමණක් වූයේ නැත. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගේ කතාව ද ඔවුන්ට කතාවක් පමණක් නොවීය. නීතිය, ආදරය, කම්පනය, කුතුහලය, වංචාව, අවස්ථානෝචිතභාවය, අනුකම්පාව, ස්වයං විවේචනය ආදී සෑම දෙයක්ම පාහේ එතැන විය. මේ සියල්ල වූයේ පොත් එළිදැක්වීමක් වෙනුවෙනි. ඒ, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ ‘Blood laced tears’ කෘති ද්විත්වයයි. උත්සවයේ කථානායකයාට අමතරව එදින කතා කළේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පමණි. මේ පොත් කියවිය යුතුම බවට ඔහු මුලදීම කියූ කතාව සැබෑවක්ම බව පසුව පසක් විය.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, නීතිය යොදාගැනීමේ දී සේම ග්‍රන්ථකරණයේදී ද නිර්මාණශීලිය. මේ කෘති එළි දැක්වීමේ ආරාධනාව ද සුවිශේෂය. සාක්ෂි එකතු කරන බෑගයක බහාලූ ගිනි පෙට්ටි අනුරුවක දෙපස පොත්වල නම් සටහන් විය. කොබෙයිගනේ රූමතිය ඝාතනය; මනුෂ්‍යත්වයේ සහ නීතියේ සභාව ලෙස එහි කුඩා අකුරින් සටහන්ව තිබිණ. පෙට්ටිය විවිර කළ පසු කිහිප විටක් නවන ලද ඇරයුම් පතේ කොණ්ඩා කටුවක් ගසා තිබිණ. එය හදවතට වඩාත් සමීපව දැනෙන්නට වූයේ පොත් එළි දැක්වීමෙන් පසුවයි.
නීති කෘත්‍යය සිදු කෙරුණු ආකාරය ජනාධිපති නීතිඥවරයා පැහැදිලි කරද්දී අහිංසක ඩිංගිරියාගේ රූ ද පසුපසින් තිරයේ දිස්විය. පසුව පැමිණි සිටි අමුත්තන්ට පොත් පිළිගැන්වූ අතර, එතැනින් ද නාට්‍යය අවසන් නොවීය. නැවත වේදිකාව මත කොබෙයිගනේ රූමතියගේ කතාවේ විලාපය මැවෙද්දී අවසානයට වේදිකාවට ආවේ සියුමිණි ඔපයංගිය. සසර ගනුදෙනු අවසන් වනතෙක් එකම හිතින් පෙම් කරනා තවත් අය ඇති බව ඈ ඒත්තු ගැන්වුවාය.
‘යන්තමට හරි නුඹට හිතුණොත්
මගේ හිත මගහරින්න
මතක පැන් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න…’
යැයි ඇය ගයද්දී කොළඹ කමතේ රැස්වූවන්ගේ සුසුම් අතරින් හිතට දැනුණේ දිනක් හෝ ප්‍රේම කළ අයෙකු වේනම්, සිරුරත්, හදවතත්, ආත්මයත් නිවනවා මිස දවන්නේ නැති බව පමණි.
රෂ්නිකා ලියනගේ
