News

ඉස්සො කොටුවකට ආනවිලුන්දාව ඩෝසර් කරලා

ඉස්සන් කොටුවක් සකස් කිරීම සඳහා ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් ඉකුත් 25 වැනිදා රාත්‍රී කාලයේදී විනාශ කර ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයකු විසින් මෙම පරිසර විනාශය සිදුකර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය (Ramsar Convention) යටතේද වටිනා තෙත් බිමක් වශයෙන්ද ආනවිලුන්දාව නම් කර තිබෙන බව පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. එමෙන්ම මෙම පරිසර පද්ධතිය තුළ දෙස් විදෙස් පාක්ෂිකයෝ බහුලව සිටිති.

මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ මීට කලකට ඉහතදී පවත්වාගෙන ගිය ඉස්සන් වගාව නිසා කඩොලාන පද්ධතිය විනාශ වී තිබීම හේතුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් ආයතන කීපයකද සහාය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ආරම්භ කර තිබිණි.

එම භූමි කලාපය ඉකුත් 25 දින රාත්‍රියේදී මුළුමනින්ම වනසා තිබෙන අතර මෙය ඉස්සන් වගාවක් වෙනුවෙන් සිදු කරන ලද්දක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

බැකෝ යන්ත්‍ර යොදාගෙන තෙත් බිම් කලාපයේ අක්කර දෙකකට ආසන්න ප්‍රදේශයක් මෙලෙස හෙළිපෙහෙළිකර තිබේ. අදාළ පරිසර පද්ධතිය විනාශ කර තිබෙන බවට වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ පෙරේදා (26 වැනිදා) පෙරවරුවේදීය. එම අවස්ථාව වන විට අදාළ පරිසර පද්ධතිය කපා දැමීමට ​යොදාගත් බැකෝ යන්ත්‍ර ආදිය ඉවත් කරගෙන තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම අභය භූමි කලාපයේ කුඹුරු යායක් මැදින් මාර්ගයක් සකස් කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදු කෙරුණු අතර ඒ සඳහා යොදාගෙන තිබූ බැකෝ යන්ත්‍රවලින්ම අභය භූමි කලාපයද එළිපෙහෙළි කරන්නට ඇති බවට වනජීවී නිලධාරීන්ට සැක මතුවී තිබේ.

මෙම පරිසර විනාශය පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස තමා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව වනජීවී වනසංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවසීය. මෙම පරිසර විනාශය සම්බන්ධව හලාවත අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවද මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ආනවිලුන්දාව වනජීවී නිලධාරීන් ඊයේ (27 වැනිදා) කටයුතු කර තිබිණි.

සාලිය කුමාර ගුණසේකර

ජූඩ් සමන්ත – පුත්තලම