News

ආර්ථික අර්බුදයක් තිබුණත් සේවකයන් ඉවත් කිරීමට වැටුප් කප්පාදුවට ඉඩක් නෑ

පවතින ආර්ථික අර්බුදයේදී වුවත් සේවකයන් සේවයෙන් පහ කිරීම හෝ වැටුප් කප්පාදුවක් කිරීමට හාම්පුතුන්ට කිසිදු නෛතික අවසරයක් නැතැයි කම්කරු අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන ‘අරුණ’ට පැවසීය.

නිෂ්පාදන සහ සේවා සපයන බොහෝ ආයතන කොවිඩ් වසංගතය සමග ආදායම් ඉපයීමේ අපහසුතාවට පත්ව ඇති බව ප්‍රායෝගික ගැටලුවක් සේ සලකා මෙයට ලබාදිය හැකි විසඳුමක් සඳහා ත්‍රෛපාර්ශ්වික කමිටුවක් පත්කොට ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

‘‘මේ කමිටුවට ව‍ෘත්තීය සමිති, හාම්පුතුන් සමග සේවා නියෝජිතයන් සහ කම්කරු දෙපාර්තමේන්තුව කියන පාර්ශ්ව තුන එකතුවෙලා ඉන්නවා. හුඟක් ආයතනවලට මේ කාලේ පාඩු සිද්ධ වුණා. නමුත් සේවකයන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ. මෙම කමිටුවේ සභාපතිවරයා කම්කරු අමාත්‍යවරයා ඔහුගේ නිර්දේශ ඉදිරි සතියේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.

ඉදිරියේදී ආයතන නැවත විවෘත කළ විට ආයතන ගෙනියන්න වෙන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට යටත්ව. මීටරයේ දුර තියාගෙන සේවකයන් වැඩමුර ක්‍රමයටයි.

දැන් උද්ගතවෙලා තියෙන ගැටලු නීති ප්‍රකාරවම විසඳන්න ගියොත් තවත් ප්‍රායෝගික ප්‍රශ්න රැසක් උද්ගත වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන්නේ සාකච්ඡා කරල එකඟතාවයට එන්න’’යි යනුවෙන්ද හෙතෙම පැවසීය.

 

කලණ වීරසිංහ