News

ඇමරිකානු ජනාධිපතිවරණය අදයි

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අදයි. මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්‍ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න්ය. ජාතික වශයෙන් මේ වනවිට පවත්වා ඇති ජනමත සමීක්‍ෂණ බොහොමයකින් ප්‍රකාශ වන්නේ ජෝ බයිඩ්න් ට්‍රම්ප්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බවයි. සාමාන්‍ය වශයෙන් ගත් කළ බයිඩ්න් සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ට්‍රම්ප් අභිභවා ගොස් සිටින ආකාරයක් දැකිය හැකි වේ.

කෙසේ නමුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලය ජනමත සමීක්‍ෂණවලින් පෙන්වා දුන් ප්‍රතිඵලයට වඩා වෙනස් එකක් විය. එවර බොහෝ ජාතික සමීක්‍ෂණවලින් කියැවුණේ ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැයි කියාය. නමුත් එම අනාවැකි බොරු කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ජයගත්තේය. (සමස්ත ඡන්ද එකතුව අතින් ක්ලින්ටන් ඉදිරියෙන් සිටි බවද සඳහන් කළ යුතු වේ. නමුත් ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය අනුව රට පුරා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගත් පමණින් ජයග්‍රහණය කළ හැකි නොවේ. ප්‍රාන්ත මට්ටමින් ලබා ගන්නා ජයග්‍රහණද එහි දී තීරණාත්මක වේ.)

2016 වසරේ ජනමත සමීක්‍ෂණවල ප්‍රතිඵල වැරදුණද මෙවර එසේ නොවනු ඇති බවට ඇතැම් නිරීක්‍ෂකයෝ අදහස් පළ කරති. මෙවර තරගකරුවන් දෙදෙනා අතර ඇති පරතරය වැඩි වීමද එයට එක් හේතුවකි. 2016 වසරේ ට්‍රම්ප් සහ ක්ලින්ටන් අතර මෙතරම් විශාල ඡන්ද පරතරයක් සමීක්‍ෂණවලින් පෙන්නුම් කර තිබුණේ නැත. ජනාධිපතිවරණය ආසන්න දිනවල ක්ලින්ටන් ඉදිරියෙන් සිටියේ සියයට 2ක පමණ ප්‍රතිශතයකින් පමණි.

මෙවර ජනාධිපතිවරණයේදී වඩාත්ම අවධානයට ලක් වූ කාරණාව වූයේ කොවිඩ් වසංගතයයි. මේ වනවිට මෙම වසංගතයෙන් දරුණුම ආකාරයෙන් බැටකමින් සිටින රට ඇමරිකාව බව රහසක් නොවේ. දිනක් තුළ වාර්තා වන ආසාදිතයන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා අතර පසුගිය 30 වැනි දින එය ලක්‍ෂයද ඉක්මවා ගියේය. මේ අතර පසුගිය කාලයේ රට තුළ නැග ආ ජාතිවාදී ප්‍රවණතාද, ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියද, ආර්ථික අර්බුදයද ජනාධිපති සටනේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණි.

කොවිඩ් වසංගතය නිසා මෙවර තැපැල් ඡන්ද භාවිත කළ පිරිස ඉතා විශාලය. මෙම තැපැල් ඡන්ද ගණන් කිරීමට වැඩි කාලයක් ගතවන නිසා ප්‍රතිඵල නිකුත් වීමට තරමක් ප්‍රමාද වනු ඇති බවටද අදහස් පළ වෙයි. කෙසේ නමුත් ජනාධිපතිවරණය දිනයේම රාත්‍රියේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල නිකුත් වනු ඇති නිසා වැඩි වාසි ඇත්තේ කාටද යන්න සම්බන්ධයෙන් දළ අදහසක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. නමුත් යම් යම් ප්‍රාන්තවල ඡන්ද නැවත ගණන් කිරීමේ සහ අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් නීතිය හමුවට යාමේ අවශ්‍යතා මතු වුවහොත් අවසන් ජයග්‍රාහකයා ගැන නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයක් වුව ගත වීමට ඉඩ තිබේ. ජනාධිපතිවරණ දිනයේ (03දා) ඡන්දය භාවිත කිරීම ආරම්භ වන්නේ ලංකාවේ වේලාවෙන් සන්ධ්‍යා කාලයේය. මේ නිසා මුල් ප්‍රතිඵල නිකුත් වනු ඇත්තේ මෙරට වේලාවෙන් නොවැම්බර් 4 වැනි දින දිවා කාලයේ යි.

සහන් වික්‍රමගේ