ඇමැති විමල්, කාදිනල් හිමිපාණන් හමුවෙයි
පාස්කු ප්‍රහාරයට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පෙර පැවති ආණ්ඩුව මෙන් නීතිවිරෝධී කමිටු පිහිටුවා ඒ කමිටුවලින් දෙන උපදෙස් මත ක්‍රියා නොකරන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවසීය.
ඇමැතිවරයා මෙසේ කියා සිටියේ කර්මාන්ත ඇමැතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව රටේ තත්ත්වය සහ කර්මාන්තකරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (8දා) කොළඹ අගරදගුරු නිවසේදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳවද කරුණු සාකච්ඡා වූ අතර පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන පිළිබඳව අගරදගුරුතුමන් විමසිල්ලෙන් පසුවන බවද කී ඇමැතිවරයා මේ වනවිට පාස්කු කොමිසම මගින් හෙළිවන තතු පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ තත්ත්වයෙන් හෝ බේරීමට ලැබීමත් හාස්කමක් බවද කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ,
‘‘රවුෆ් හකීම් පාස්කු කොමිසමට ගිහින් කියනවා අයුක්තිය මුවාවෙන් වෙනත් හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලා. හකීම් කියන්නේ සහරාන්ගේ මල්ලි බෝම්බ හදද්දි අනතුරට පත්වුණ අවස්ථාවේදී රෝහලට ගිහින් ඔහුගේ සුවදුක් බලපු කෙනා. මුස්ලිම් හැම මනුස්සයම අසනීප වුණාම හකීම් ඔවුන්ව බලන්න රෝහල්වලට යන්නෙ නෑනෙ. එහෙම කටයුතු කළ හකීම්ලට පාස්කු කොමිසමට ගිහින් මේ වගේ විකාර කතා තමයි කියන්න වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අගරදගුරුතුමන් සැලකිල්ලෙන් බලා ඉන්නවා. මේ රටේ අනන්‍යතාවට, ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට එය සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ උන්වහන්සේ ඉන්නවා. ඒ වගේම මම කියනවා පුද්ගලයන් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම වැරදියි. පොදුවේ රටක් ලෙස අවශ්‍යතා දෙස බලලා අපි නීති සම්පාදනය කළ යුතුයි. කෙසේ නමුත් අද අවස්ථාවක් ලැබිලා තියෙනවා 1978 ජයවර්ධන ජනාධිපතිවරයා අටවපු බෙලහීන ව්‍යවස්ථාවෙන් එළියට එන්න. ඒ වෙනුවට ඉතාම නිවැරදි ජනරජ ව්‍යවස්ථාවකට යාමට දැන් අපට අවස්ථාව ලැබිලා තියෙනවා.’’
ශිරන්තනි මානවඩු
