News

ඉවතලන මත්පැන් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරයි

ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබේ.

මත්පැන් සහිත විවිධ ධාරිතාවන්ගෙන් යුතු වීදුරු බෝතල් මිලියන 300කට අධික ප්‍රමාණයක් සහ බියර පිරවූ ලෝහ කෑන් මිලියන 160ක් පසුගිය වසරේදී අලෙවි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම වීදුරු බෝතල් හා ලෝහ කෑන්වලින් වැඩි ප්‍රමාණයක් නැවත භාවිතයකින් හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමකින් තොරව පරිසරයට එකතුවී ඇතිබව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කරයි.

මෙලෙස ඉවතලන බෝතල් හා ලෝහ කෑන් පරිසරයට බැහැර කිරීමෙන් ඇතිවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය දියත් කරන බව ඔහු අවධාරණය කර සිටියි.

මත්පැන් අලෙවි ස්ථානවලින් ඉවතලන වීදුරු බෝතල් නැවත මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරන අතර ලෝහ කෑන් යන්ත්‍ර මගින් විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ඒ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.