එකතු වූ ජල-විදුලි බිල්පත්, දඩකොළ ගෙවන්න සහන කාලයක්
කොරෝනා වෛරසය නිසා උද්ගතව ඇති තත්ත්වය මත පාරිභෝගිකයකුට මාස දෙකක ජල බිල්පත් හා විදුලි බිල්පත් එකවර ලැබුණොත් ඉන් එක් මසක බිල් ගෙවීමට දින තිහක කාලයක් ලබාදෙන බව විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.
එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් තුළ ගෙවා දැමීමට අවස්ථාව පාරිභෝගිකයාට ලබාදෙන බව ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය.
ජල බිල්පත් සැකසීමේදී ඇතිවන දෝෂයන් මත පාරිභෝගිකයාට වැඩිදුර මුදලක් ගෙවීමට සිදුවුවහොත් එසේ වැඩිපුර ගෙවූ මුදල ඉදිරි මාසයේ බිලකින් ගැලපුම් කර නිවැරැදි කරන බවද නිශාන්ත රණතුංග සභාපතිවරයා පැවැසුවේය. විදුලි බල මණ්ඩලයට මේ වන විට ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති නිසා ලබාදෙන කාලය තුළදී අදාළ ගාස්තු ගෙවා දමන්නැයි සුලක්ෂණ ජයවර්ධන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර ඇඳිරිනීතිය පැනවීමට පෙර නිකුත් කළ එහෙත් ගෙවාගත නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා මැයි මස විසි අටවෙනිදා දක්වා සහන කාලයක් ලබාදී තිබේ. මෙම සහන කාලය හිමිවන්නේ මාර්තු පළමුවනදා හෝ ඊට පසු නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා පමණි.
පෙබරවාරි මස දහසය වැනිදා සිට පෙබරවාරි මස විසි නව වැනිදා දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දින විසිඅටක කාලයක් තුළ ගෙවීමට ද සහන කාලයක් මින් ලබාදී තිබේ.
හේමන්ත ලියනපතිරණ
