එක්සත් ජාතීන් සාමාජික රටවලට සමානව සැලකිය යුතුයි
සිය සාමාජික රටවල් සමග ගනුදෙනු කිරීමේ දී එක්සත් ජාතීන් විසින් සෑම රටකටම බලපාන පරිදි ‘‘සමානාත්මතාවයේ මූලධර්මය’’ පූර්ණ ලෙස අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇත.
සෑම මෙහෙයුම් සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයට ලිඛිත ප්‍රකාශයක් කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පවසා ඇත්තේ සෑම මිනිසකුගේම අයිතිවාසිකම් සනාත කිරීම සඳහා කැප වී සිටින විශාලතම ගෝලීය ආයතනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවයි.
ජිනීවා හි නිත්‍ය නියෝජිත කණ්ඩායම උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මානව හිමිකම් පිළිපැදීම හා ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කරන ආයතනවල විශ්වසනීයත්වය අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වන විට ඒවා සැලකිය යුතු ලෙස අඩපණ කළ හැකි බවයි.
‘‘මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඔප්පු නොකළ චෝදනා අනවශ්‍ය ලෙස රජයන් හැසිර වීමට භාවිත කරන උපකරණ ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතී’’ යැයි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ජිනීවාහී දී ප්‍රකාශ කර ඇත.
බෝම්බකරුවන් සහ ළමා සොල්දාදුවන් උපයෝගී කරගත් ත්‍රස්තවාදී සංවිධානයක් සමග මානුෂීය අරගලයක නිරත වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාව සහ පොලිසියට සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක් පවතින බව ජිනීවා නියෝජිතයන් එක්සත් ජාතීන්ට පෙන්වා දුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නයන තරංග ගමගේ
