Top Story

එජාප 72 වැනි සංවත්සරය සැමරේ

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද (6)  පක්ෂ මුලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොතේදී උත්සවාකාරයෙන් පක්ෂ නායක අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්විණි. ”වැඩ කරන වැඩ කරපු 72″ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සරය සංවිධානය කර තිබුණි.   පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය නායක රවී කරුණානායක, ජාතික සංවිධායක කබීර් හෂීම්, පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ පිළිරූ වලට මල්දම් පැළඳ විය.

උත්සව සභාව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් 2030 දක්වා එක දිගට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කළයුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ ජන බල මෙහෙයුමක් නිසා පක්ෂ සංවත්සරය කල් දමන්නට තීරණය කරමුදැයි සමහරුන් තමන්ගෙන් ඇසූ බවත් එයාලාට ඒක කරගන්න දී අපි අපේ වැඩේ කරමුයි කියමින් ඉදිරි වැඩ පිළිවෙලක් සහිතව අද පක්ෂ සංවත්සරය මෙලෙස සමරන බවත් ඔහු සඳහන් කළේය. ඉදිරියේදී පාක්ෂිකයන්ට විශේෂ සැලකිල්ලක් දක්වන අතර රටේ සියලු ජනතාවට සහන සලසා දීමට සැලසුම් සකස් කර ඇති බවත් රටේ ණය බර හේතුවෙන් ජනතා සහන සලසා දීම යම් මන්දගාමී තත්වයක් පැවති බවත් අගමැතිවරයා පේනවා දුන්නේය.

”අපිට වැට් වැඩි කරන්න වුණා, බඩු මිල වැඩි කරන්න වුණා. අමාරු පියවර ගන්න තිබුනේ… ඒවාට අපි නැහැ කියන්නේ නැහැ… මේ හැමදේම කළේ රට වෙනුවෙන්. ආර්ථිකේ ප්‍රශ්න තියනවානම් ඒ ප්‍රශ්න හැම තැනටම යනවා” යයි පැවසු අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ  තමන්ට ණය වී විකුන්නට සුදානම් කර තිබු කුඹුරක් හමුවූ බවත් ඒ කුඹුර කළ අය පැන ගිය නමුත් තමන් කුඹුර අස්වද්දා ඇති බැවින් දැන් රටේ ජනතාවට අස්වනු ලබා ගැනීමට හැකි බවයි.

සාමාන්‍ය සංවත්සරයක් වුවත් මෙම සංවත්සරය මේ මොහොතේදී විශේෂ සංවත්සරයක් බවට පත්කර දීමට ඒකාබද්ද විපක්ෂය කටයුතු සලසා දුන් බව සභාව අමතමින් පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා පැවසිය. පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණ ලබා ගත්  ජයග්‍රහණය ඊයේ (05) කොළඹ විරෝධතාවයක් කරන්නට ගොස් අහිමි කර ගැනීම එජාපයට මේ සංවත්සරය විශේෂ වීමට හේතුවන බවද ඔහු සඳහන් කළේය.

කොළඹට මෙවැනි ජනගහනයක් ගෙන එමෙන් ආණ්ඩුවට සිදුවූ අගෞරවය වසා ගැනීමට නුදුරේදීම කොළඹට සැබෑ ජනගහනයක් ගෙනවිත් පෙන්වන බවද ඔහු එහිදී අවධාරණය කළේය.