නවතම ප්‍රවෘත්ති

ඒකාබද්ධය පෙළපාලි යද්දී 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක්

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සඳහා වූ 20 වන සංශෝධන යෝජනාව අද (5දා)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ‘අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙහි’ සඳහන් වේ. න්‍යාය පත්‍රානුකූලව එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ‘පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්’ වශයෙනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලබන  මෙකී 20 වැනි සංශෝධනය, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ගැසට් කර තිබුණේ 2018 ජුලි 6 වැනිදා ය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ගැසට් කිරීමෙන් පසුව සති 2 ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ එම යෝජනාව මාස 2 ක් තිස්සේ ප්‍රමාද විය. ඒ ආණ්ඩුවෙන් පිරිසක් ඉවත් වී විපක්ෂයට එක්වීමෙන් ආණ්ඩුවට 2/3 බලය අහිමිවීම නිසාය.

‘ජන බලය කොළඹට’ විරෝධතා පෙළපාලියට සහභාගීවන බැවින්, ඒකාබද්ධ විපක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු අද දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ‘අරුණ’ට පැවසීය. ඒ අනුව 20 වැනි සංශෝධනය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි නොමැති අවස්ථාවක ය.

  • සුරේඛා සමරසේන