ඔස්ට්‍රේලියාව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්
වසංගත සමයේදී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම අවදානම් සහගත යැයි චීනය සිය සිසුන්ට අනතුරු අඟවා ඇත.
එළැඹෙන ජූලි මාසයේදී ඔස්ට්‍රේලියානු රජය සිය විශ්වවිද්‍යාල දේශීය සහ විදේශීය සිසුන් වෙනුවෙන් නැවත විවෘත කිරීමට සූදානම් වන පසුබිමක චීන අධ්‍යාපන අමාත්‍යාංශය මෙලෙස සිසුන්ව දැනුවත් කර තිබේ.
මෙම අවවාද ඔස්සේ චීන රජය සිය සිසුන්ට පෙන්වා දී ඇත්තේ කොවිඩ්-19 තර්ජනය මෙන්ම ආසියානුවන්ට වෙනස් කොට සැලකීමේ තර්ජනයද ඔස්ට්‍රේලියාවේදී ඉස්මතු විය හැකි බවයි.
පසුගිය අඟහරුවාදා බීජිං වෙතින් නිකුත් කෙරුණු මෙම ප්‍රකාශයෙන් පැහැදිලිවම දක්වා ඇත්තේ ‘ඔස්ට්‍රේලියාවට යෑම හෝ ආපසු යෑම තෝරා ගැනීමේදී චීන සිසුන් ප්‍රවේශම් විය යුතු බවයි.’
‘කොවිඩ්-19 වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේදී ආසියානුවන්ට වෙනස්කම් කිරීම් සිදුවී ඇත’ යනුවෙන්ද එම ප්‍රකාශයේ සඳහන් වේ.
කෙසේ වෙතත් චීනයේ මෙම අනතුරු ඇඟවීම ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කර තිබේ. ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමැති ඩෑන් ටෙහාන් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලබාදෙන සාර්ථක බහු සංස්කෘතික සමාජයක් බවයි.
එසේම ඔස්ට්‍රේලියාව වයිරසය මර්දනය කිරීමට උපරිම පියවර ගෙන ඇති බවත්, විදේශීය සිසුන්ට මේ මොහොතේ ආරක්ෂිතම රට ඔස්ට්‍රේලියාව බවත් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර තිබේ.
චීනය සහ ඔස්ට්‍රේලියාව අතර මෙම ආතතිමය තත්ත්වයට හේතුවී ඇත්තේ කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් චීනයට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජනපදය කරන ලද ප්‍රකාශයට ඔස්ට්‍රේලියාව සහාය දැක්වීමයි.
එතැන් සිට ඇතැම් ඔස්ට්‍රේලියානු භාණ්ඩ සඳහා අතිරේක තීරු බදු පැනවීමට සහ නැව්ගත කිරීම් අවහිර කිරීමට චීනය පියවර ගෙන තිබේ.
නයන තරංග ගමගේ
