නවතම ප්‍රවෘත්ති

ඕමාන රජ ගේ මුළුතැන්ගෙට එළිය දෙන්නට අපේ රටෙන් තරුවක් පායලා

ලෝක සිතියම දෙස ඔබ මොහොතකට නෙත් යොමු කළොත්… හෝර්මුස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි අපූරු ගල්ෆ් රාජ්‍යයක් ඔබේ නෙත ගැටෙනු ඇත. ඒ අනෙකක් නොව ඕමානයයි. ඕමානයේ එක් පසක් ආවරණය වී ඇත්තේ අරාබි මහ මුහුදෙනි. එතැන් සිට හරිත පැහැ කෙත්වතුත්, පඬු පැහැ කාන්තාරත් කරට කර තරග වැද, වෙඩි හඬට බිය වූ රිලා රෑනක් මෙන් අතපය හකුළා ගන්නේ හජාර් කඳුවැටිය හමුවේය. ඒ තරම් බලවත් හජාර් කදුවැටිය පවා අභිබවා නැගී සිටි තැනක් ඕමානයේ ඇත. ඒ සුල්තාන්ගේ රාජමාලිගයයි.

 

හජාර් කඳුවැටිය ඕනෑම අයකුට තරණය කළ හැකි වුවත්, සුල්තාන්ගේ රාජමාලිගයට පිවිසිය හැක්කේ එහෙමත් අයකුටය. ඒ අතරින් එහි රාජකීය මුළුතැන්ගෙයි, රාජකීය පියස උසට නැඟෙන කේක් කඳු තරණය කිරීමේ අවස්ථාව බොහෝ දෙනකුට සිහිනයකි. ඕමාන් සංචාරයකට පෙරුම් පුරන ඔබටත් එය සිහිනයක් වන්නට ඇත.

 

හැබැයි ඒ සිහිනය සැබෑ කරගන්නට දැන් ඔබට ලංකාවේ සිටම පුළුවන. ඒ, ඕමානයේ දෙවසරක් තිස්සේ රාජකීය කේක් නිර්මාණයට දායක වූ දෑතක් දැන් මෙහි සිටින නිසාය. ඒ දෑතේ හිමිකාරිය කොළඹ, දෙමටගොඩ ඉපිද දැන් ඊට නුදුරු ගොතටුව ප්‍රදේශයේ සිට සිය කේක් ව්‍යාපාරය හොබවන සූපවේදිනී තාරුකා වන්නිආරච්චිය.

 

මෙරටින් ඇරැඹී, ඉන් නොනැවතී ඕමානයේ රාජකීය මුළුතැන්ගෙය දක්වා විහිදුණු ඇගේ කේක් චාරිකාව මේ වන විට යළිත් මව්බිමේ නව ගමනාන්තයක් සොයා පැමිණ තිබේ. ඒ Divino Cake නමින් මෙරට කේක් රුසියන් අතරට එක්වෙමිනි. ඉතින්, තාරුකාගේ මේ අපූරු කේක් චාරිකාවේ තවත් රසවත් තැන් සොයා අපි ඇය හා කතාබහකට එක්වුණෙමු.

 

ඒ කතාබහට අනුව ඇගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂ්‍යය වූණේ කේක් නිර්මාණය කෙරෙහි ඇගේ සිත ඇදී ගිය ඒ මුල්ම මොහොතයි…

 

“එතකොට මම විවාහ වෙලා හිටියේ. සැමියා රැකියාවක නිරත වෙද්දී මම ගෘහණියක් විදියට මගෙන් විය යුතු වගකීම් හා යුතුකම් ඉටු කළා. අපේ ලොකු පුතා ලැබුණට පස්සේ එයා ටිකෙන් ටික ලොකු වෙද්දී මට හිතුණා හැමදාම ගෙදරටම සීමා වෙලා ඉන්නේ නැතුව, මගේම කියලා දෙයක් පටන් ගන්න ඕනෑ කියලා. ඒ වගේම පවුලේ ආර්ථිකයටත් මගේ පැත්තෙන් පුංචි හරි ශක්තියක් වෙන්න මට ඕනෑ වුණා. ඒ නිසා ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් උපයාගන්න පුළුවන් මොනවා හරි දෙයක් කරන්න මම හිතුවා. ඒ ගමන් විවිධ දේවල් අත්හදා බැලුවා.”

 

ඒ අනුව තාරුකාගේ පළමු ආදායම් මාර්ගයක් බවට පත්වුණේ පේපර් ක්විලින්ග් කලාවයි. පේපර් ක්විලින්ග් කලාවෙන් යම් ආදායමක් උපයාගැනීමට තාරුකාට හැකි වුවත්, එය ඇය බලාපොරොත්තු වූ තරමේ ආදායම් මාර්ගයක් වූයේ නැත. එහෙත් තමන්ගේම දෙයක් ගොඩනඟා ගැනීමේ සිහිනය ඇය අත්හැරියේ ද නැත. ඒ වෙනුවට තවත් නව මාවතක් සොයා යන්නට ඇය තීරණය කළාය. ඒ අනුව ඇගේ නව මාවත වුණේ කේක් නිර්මාණය කිරීමේ කලාවයි.

 

“ඒ අනුව මම 2017දී කේක් නිර්මාණය කරන්න පෙළඹුණා. හැබැයි ඒ වෙනකොට මට ඒ ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මට තිබුණේ ඒ දේ ඉගෙනගන්න ලොකු ආසාවක් විතරයි. ඊට පස්සේ මම මුලින්ම කේක් කලාවේ මූලික දැනුම ලබාගන්න ඕනෑ කියලා හිතුවා. ඒ අනුව තමයි මම කේක් පිළිබද එක්දින පාඨමාලාවක් හැදෑරුවේ. ඒක තමයි මගේ කේක් ගමනේ පළමු පියවර වුණේ.”

කේක් නිර්මාණය පිළිබඳ මූලික දැනුම ලබාගෙන සිටි තාරුකාට, තමන් ඉගෙනගත් දේ ප්‍රායෝගිකව අත්හදා බැලීමටත්, ඒ ඔස්සේ ආදායමක් උපයාගැනීමටත් පළමු අවස්ථාව උදාවුණේ වැඩි කලක් ගතවන්නටත් පෙර සිටයි. ඒ හිතවතකුගේ මාර්ගයෙන් ලැබුණු පළමු කේක් ඇණවුමත් සමඟිනි. එය හුදෙක් ඇණවුමක් ලෙස සලකා අත්හැරීමට ඇය සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ලැබුණු අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, තමන්ගේ හැකියාව පෙන්වීමටත් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමටත් ඇය සමත් වුණා.

 

“ඊට පස්සේ මම ඒ විදියට කරපු කේක් නිර්මාණ මුහුණුපොතේ මගේ පෞද්ගලික ගිණුමේ පළ කරා. ඒක දැකලා මගේ පාසල වුණ කොළඹ යශෝදරා බාලිකා විදියාලයේ මට අකුරු කරපු ගුරුවරු හා මගේ හිත මිතුරන් මට ඇණවුම් ලබා දෙන්න පටන්ගත්තා.”

 

එලෙස තාරුකාගේ කේක් නිර්මාණ චාරිකාවට සැබෑ ධාවන පථයක් සැකසුණේ මුහුණුපොතේ ඇගේ පෞද්ගලික ගිණුම ඔස්සේය. ඊට අමතරව පාසල් මිතුරන්ගේත්, හිතවතුන්ගේත් සම්බන්ධතා ඔස්සේ ඇය වෙත ගලා ආ ඇණවුම් සමඟ ද ඇගේ කේක් චාරිකාව තවත් වේගවත් එකක් විණි.

 

‘විශිෂ්ටත්වය යනු එක්වරක් කරන ක්‍රියාවක් නොව, පුරුද්දකි’ යැයි ඇරිස්ටෝටල් වරෙක පැවසුවේය. එම කියමනට අරුතක් එක්කරමින් තාරුකා ද තමන් ලැබූ අත්දැකීම්වලට පමණක් සීමා නොවී, දැනුමෙන් ද සන්නද්ධ වීමට පියවර ගත්තාය. ඒ අනුව 2022 හා 2023 වන විට කේක් නිර්මාණකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා ඇතුළු වැඩිදුර අධ්‍යයන කටයුතුවලට යොමු වී ඒවා හමාර කළාය.

 

“මෙරට හෝම් මේඩ් කේක් ඩෙකරේටර් කෙනෙක් විදියට මට යම් අත්දැකීම් ප්‍රමාණයක් තිබුණත් ඇත්තටම මට අවශ්‍ය වුණේ අන්තර්ජාතික මට්ටමෙනුත් වෘත්තීය අත්දැකීම් ලබාගන්න. ඒ වෙනුවෙන් අවස්ථාවක් හොයමින් ඉන්න කොට තමයි මම දැක්කේ ඕමානයේ රාජකීය මුළුතැන්ගෙය සඳහා කේක් නිර්මාණ ශිල්පීන් ලංකාවෙනුත් බඳවා ගන්න නියමිතයි කියලා.”

 

නමුත් එහි පිරිමි අයදුම්කරුවන් පමණක් බඳවා ගන්නා බව සඳහන්ව තිබුණ ද එම කොන්දේසිය ඉක්මවූ ඇය මූලික තේරීම් වටය මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණය ද සාර්ථකව ජයගත්තේ ඉතා ඉහළිනි. එහි ප්‍රතිඵලය ලෙස ඇයට ඕමානය බලා යෑමේ අවස්ථාව ද උදා විය. එහෙත් එය ඇයට පහසු තීරණයක් නොවුණේ ඒ වන විට ඇය ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක් හා කුඩා පුතණුවන් දෙදෙනෙකුගේ මවක් වූ නිසයි.

 

“ඒ වෙද්දී මගේ ව්‍යාපාරයත් යම් තැනකට ඇවිත් තිබුණේ. දරුවෝ දෙන්නත් පොඩියි. ඒ නිසා හැමදේම දාලා රට යන එකත් ලේසි දෙයක් වුණේ නැහැ. නමුත් මම ගියේ එහේ දිගටම රැඳෙන්න නෙමෙයි. අලුත් අත්දැකීම් ලබාගෙන ඒ දැනුමත් එක්ක ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්නයි. ඒ වෙනුවෙන් මම ඒ අවදානම භාරගත්තා. ඒක තමයි මගේ සැලසුම A වුණේ. ඒක සාර්ථක නොවුණොත් සැලසුම් B හා C ලෙස තවත් සැලසුම් කිහිපයක් මට තිබුණා.”

 

ඇගේ මේ සියලු තීරණ හා සැලසුම් පිටුපස සිටි යෝධ ශක්තිය වූයේ ඇගේ සැමියාය. ඔහුගේ නොමඳ සහයෝගයත්, දිරිගැන්වීමත් සමඟ තාරුකාගේ පළමු සැලසුම සාර්ථක විය. ඒ අනුව 2024 වසරේදී ඇය ඕමානයේ රාජකීය මුළුතැන්ගෙයි කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස සේවයට එක්වූවාය.

 

“2024දී තමයි මම ඕමානයේ රාජකීය මුළුතැන්ගෙයි සේවයට ගියේ. එහි ගිය මුල් අවස්ථාවකදීම ඕමාන් සුල්තාන්වරයා බලයට පත්වීමේ සංවත්සරය වෙනුවෙන් රන් ඔබ්බවන ලද මිලියන 10 කට අධික වටිනාකමින් යුත් විශේෂ කේක් නිර්මාණය කිරීමත් අපට පැවරුණා. ඒ වගේම ඕමානයේ සාම්ප්‍රදායික ගම්මානයක් නිරූපණය වන දැවැන්ත කේක් නිර්මාණයක ටොපර්ස් සකස් කරන්න විතරක් අපට සති තුනක පමණ කාලයක් ගතවුණා. එවැනි විශේෂ නිර්මාණ සඳහා කිලෝග්‍රෑම් 1000ක් සහ 980ක් පමණ බරැති දැවැන්ත කේක් පවා අපි නිර්මාණය කළා. ඒ විතරක් නෙමෙයි, විශේෂ රාජකීය උත්සව සඳහා සුල්තාන්වරයා සහභාගි වන ස්ථානවලටම ගිහින් අපි කේක් නිර්මාණකරණයේ නිරත වුණා.”

 

“රාජකීය මුළුතැන්ගෙයි ලැබූ දැනුම හා අත්දැකීම් ඔබේ කේක් නිර්මාණ ශිල්පය වෙනස් කිරීමටත්, වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යෑමටත් බලපෑවේ කොහොමද?”

 

එලෙස මා නැගූ පැනය හමුවේ තාරුකාගේ පිළිතුර වුණේ මෙවැන්නකි.

 

“රාජකීය මුළුතැන්ගෙයි සේවය කිරීම මගේ වෘත්තීය ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. එහිදී දැවැන්ත හා විශිෂ්ට කේක් නිර්මාණවලට අමතරව විවිධ අතුරුපස වර්ග, පළතුරු කලාව සහ පළතුරු නිර්මාණශීලීව කැටයම් කරලා අලංකාර කිරීමේ ශිල්පීය ක්‍රම ගැනත් මම ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම කේක් නිර්මාණයක් හෝ ආහාරයක් පිළියෙළ කරද්දී යම් වැරදීමක් සිද්ධ වුණොත්, ඒක ඉවත නොදමා නැවත නිවැරදි කරගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් ගොඩක් මට ලැබුණා. ඒ වගේම ඕමානයේදී මම ඉගෙනගත් තවත් වැදගත් සංකල්පයක් තමයි අඩු සීනි භාවිතය (Low Sugar Concept) කියන්නේ. ඒ කියන්නේ ආහාරයක රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න ගමන් සීනි භාවිතය අවම කරලා, වඩාත් සෞඛ්‍ය හිතකර ආහාර නිර්මාණය කිරීමයි. මම අද ලංකාවේදී සිදුකරන මගේ කේක් නිර්මාණවලට වගේම අනෙකුත් ආහාර නිෂ්පාදනවලටත් මේ සංකල්පය යොදාගන්නවා. ඒ හරහා මගේ පාරිභෝගිකයන්ට සීනි අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් වළක්වලා වඩාත් සැලකිලිමත් ආහාර තෝරාගැනීමකට අවස්ථාවක් ලබාදීම තමයි මගේ අරමුණ. ඒ අත්දැකීම් තුළින් නව තාක්ෂණික ක්‍රම, නිර්මාණශීලීත්වය සහ උසස් ප්‍රමිතියකින් යුතුව වැඩ කිරීම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”

 

එලෙස ඕමානයේ රාජකීය මුළුතැන්ගෙය තුළ වසර දෙකක වටිනා අත්දැකීම් රැසක් එක්කරගත් තාරුකා, සිය සේවා ගිවිසුම් කාලය අවසන් වීමත් සමඟ යළි මව්බිමට පැමිණියාය. එහෙත් ඇය පැමිණියේ හුදෙක් අත්දැකීම් රැසක් පමණක් රැගෙන නොවේ. ඒ අත්දැකීම් ඇසුරෙන් සිය ව්‍යාපාරයට නව පදනමක් ද නිර්මාණය කරගෙනයි. ඒ අනුව යළිත් සිය කේක් ව්‍යාපාරය සක්‍රීය කරමින්, නව සංකල්පයක් ඔස්සේ Divino Cake and Desserts නමින් ඩෙසර්ට් කාර්ට් ව්‍යාපාරයක් ද ආරම්භ කිරීමට ඇය පියවර ගත්තාය. එලෙස ඕමානයේ රාජකීය මුළුතැන්ගෙයින් ලැබූ අත්දැකීම් දැන් ඇය මව්බිමේ සිය ව්‍යාපාරික සිහිනය තවත් පුළුල් කරගැනීමට යොදාගනිමින් සිටින්නීය.

 

“ඒ වගේම මම මේ වෙද්දී ලංකා යොවුන් සූපවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ජාතික සම්බන්ධීකාරක ලෙසත් කටයුතු කරනවා. ඒනිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට මම කියන්නේ, තමන්ට සියල්ල ලැබෙනතුරු බලාගෙන ඉන්න එපා කියලයි. මොකද සාර්ථකත්වය කියන්නේ සියල්ල සූදානම් වූ පසු ආරම්භ කරන ගමනක් නෙමෙයි. ආරම්භ කළ පසු සියල්ල ඉගෙනගනිමින් ගොඩනඟා ගන්නා ගමනක්. මමත් පටන්ගත්තේ පුංචි තැනකින්. වැරදුණු තැන්වලින් ඉගෙනගත්තා. අවස්ථා සොයා ගියා. අවදානම් භාරගත්තා. ඒ නිසා මගේ පණිවිඩය තමයි, තමන්ගේ සිහිනයට වටිනාකමක් දෙන්න. පුංචි පියවරකින් හෝ අදම පටන් ගන්න. මොකද ඔබේ අනාගත සාර්ථකත්වය තීරණය කරන්නේ ඔබ අද ගන්නා ඒ පළමු පියවරයි.”

 

නෙත්මි තෂාරා