News

කට්ටිපනිමින් සිටි ධීවර වරායේ 150ක් PCR පරීක්ෂණයට

බේරුවල මරදාන කුඩා ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ පෙරේදා (14 වැනිදා) පොලිස් නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදු කර පීසීආර් පරීක්ෂණ මග හරිමින් සිටි 150 දෙනකුගේ පමණ පීසීආර් සාම්පල ලබා ගෙන ඇත.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු ඊයේ (15වැනිදා) උදෑසන මේ බව අනාවරණය කළේය.

මොවුන් ධීවරයන් හා ඒ ආශ්‍රිත ව්‍යාපාරවල යෙදුනු පිරිසකි. පසුගිය සතියේ පීසීආර් පරීක්ෂණ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි විට ඉදිරිපත් වූයේ දෙදෙනකු පමණක් බවත් අන් අය මග හැර ගිය බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙම තත්ත්වය පිළිබඳ කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත හා කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කර ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබුණි.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර