කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂාවට උපකරණ තොගයක්
කටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදි අද (20) දින උදෑසන සිදු කෙරුණි .
රුපියල් මිලියන 62 ක් පමණ වටිනා මෙම උපකරණ අතර විශාල එක්ස් – කිරණ යන්ත්‍ර 06 ක් , තාප සංවේදී උෂ්ණත්වමාපක ඇතුළු තවත් උපකරණ රාශියක් ද එහි ඇතුලත්ව ඇති අතර මෙම එක්ස් – කිරණ යන්ත්‍ර මගින් ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබන ගමන් මලු තුළ ඇති විද්‍යුත් උපාංග , පුපුරන ද්‍රව්‍ය , විදේශීය මුදල් , රත්තරන් , විවිධ මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ඉතා කෙටි කාළයක් තුළ පැහැදිලිව සහ නිවැරැදිව හදුනා ගැනීමට හැකියාව තිබේ .
ලෝකයේ කාර්යක්ෂම ගුවන් තොටුපළවලින් 65% ක පමණ වර්තමානයේ මෙම උපකරණ භාවිතයට ගනු ඇත.
මේවා ඇමෙරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය විසින් අනුමත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ තාක්ෂණික නිර්නායක මත නිෂ්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ෂෙහාන් සුමනසේකර , අරුණ වරුෂහැන්දිගේ , සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (ආරක්ෂණ රෙගුලාසි ) පී.ඒ.ජයකාන්ත ,විද්‍යුත් සහ ගුවන් සංතරණ ඉංජිනේරු අංශ ප්‍රධානී විපුල විමලශාන්ත , කටුනායක ගුවන් තොටුපළ කළමනාකරණ අංශ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි සහ ගුවන් තොටුපළ අලෙවිකරණ කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී සුමිත් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
