කථිකාචාර්යකමක් නොදුන්නැයි පීඨාධිපතිට මරන තර්ජන
සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ කථිකාචාර්ය ධුරයක් සඳහා තමන් තෝරා නොගැනීම සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ අයැදුම්කරුවෙක් එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය කෝලිත භානුට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබේ.
‘‘තෝ දැන ගනින් තොගෙ කට කපනවා. වැරදි මිනිහා එක්කයි හැප්පෙන්නේ’’ යැයි කියමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් එම අයැදුම්කරු මරණීය තර්ජන එල්ල කළ බවට පීඨාධිපතිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.
සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ පසුගිය සතියේදීය. සම්මුඛ පරීක්ෂණයෙන් ලකුණු 55කට වැඩියෙන් ලබා ගත යුතු වුවද මෙම අයැදුම්කරුට ලබා ගැනීමට හැකි වී ඇත්තේ ලකුණු පනහයි දශමනවයක් බව එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
ආචාර්ය ධුරය සඳහා ඔහු ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ නුවය.
තනතුර සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු මෙම අයැදුම්කරුගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට පැමිණ විෂබීජනාශක දියර තොගයක්ද පරිත්‍යාග කර ඇත. අයැදුම්කරුගේ පියා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
සම්මුඛ පරීක්ෂණයට පෙර එම අයැදුම්කරු තනතුරට බඳවා ගන්නා ලෙස විවිධ බලපෑම් එල්ල වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග කීවේය. අයැදුම්කරු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක සංගීතය පිළිබඳ උපාධිධාරියෙකි.
නිලන්ත මදුරාවල
