News

කල්තොට කැල්සයිට් නිධිය රන් ආකරයක් වෙයිද?

බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිත කරන කැල්සයිට් (කැල්සියම් කාබනේට් CaCo3) මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවධානය යොමුවී ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

කැල්සයිට් හෙවත් කැල්සියම් කාබනේට් (CaCo3) බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ බහුලව තිබෙන බවත්, එය මෙරට වසර 200 ක අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් බවද අනාවරණයවී තිබේ.

කැල්සයිට් (කැල්සියම් කාබනේට්-CaCo3) බෙහෙත් පෙති නිෂ්පාදනයේදී භාවිත කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය, කැණීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඪ පීවීසී පයිප්ප LDPE මාස්ටර් බැච් තීන්ත, තීන්ත, කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඩ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග, රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා ද බහුලව යොදා ගනී.

බලන්ගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත පැවරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බලන්ගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් දැනට හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට් පවුඩර්වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් මේ සම්බන්ධ පර්​ෙය්ෂණ සිදු කර තිබෙන අතර භූ විද්‍යා පතල් කැණීම් තාක්ෂණික සේවා සමාගම හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බලන්ගොඩ කල්තොට කැල්සයිට් නිධිය පරිසර ඇමැතිවරයා පෙරේදා (09 වැනිදා) නිරීක්ෂණය කළේය.

සාලිය කුමාර ගුණසේකර