කළුතරට කුඩු අදින පාත්තයා මාට්ටු
නිල ඇඳුමේ බඳ පටියේ රහසිගතව රඳවා බෝගම්බර දුම්බර බන්ධනාගාරයට හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයකු ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
වසර 08ක සේවා කාලයක් ඇති මෙම නිලධාරියා බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂාවට ලක්කර ඇත. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් හා හා කේරළ ගංජා තොගයක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම නිලධාරීන් පරීක්ෂාවට ලක් කෙරේ.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා පල්ලේකැලේ පොලිසියට භාරදී ඇත.
මේ අතර කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන නිලධාරියකු හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් අපහසුතාවට පත්ව ඇත.
සපත්තු ඇතුළේ සඟවාගෙන මත්පෙති හා හෙරොයින් රැගෙන යන බවට චෝදනා ලබා ඇති මෙම නිලධාරියාට සහාය ලබා දුන් බව කියන සිරකරුවකුද බූස්ස බන්ධනාගාරයට මාරු කර ඇත. එම සිරකරු බන්ධනාගාර මුළුතැන්ගෙයි සේවය කරමින් මෙම ජාවාරමට සහාය ලබාදී ඇත.
මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා ලබා සිටින මෙම නිලධාරියා ‘පාත්තයා’ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
විවිධ චෝදනා මත වෙනත් බන්ධනාගාරවලට ස්ථාන මාරු කළද මෙකී නිලධාරියා දේශපාලන බලය මත යළිත් කළුතර බන්ධනාගාරයට ම පැමිණ ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.
හේමන්ත ලියනපතිරණ
කමල් සුරවීර – මහනුවර
