News

කෆීර් බළකායට අණ දුන් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නව ගුවන් හමුදාපති ධුරයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29 වැනිදා) මෙම පත් කිරීම කරනු ලැබීය.

එම පත්වීම සම්බන්ධ ලිපිය නිල වශයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඊයේ (29 වැනිදා) නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත භාරදුන්නේය.

ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් ඊළාම් යුද ඉතිහාසයේ දක්ෂතා පෙන්වූ වකුවන නව ගුවන් හමුදාපතිවරයා මෙරටට පළමු මිග් 27 යානාව රැගෙන ආ නිලධාරියාද වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990 දී සුපර්සොනික් වර්ගයේ F7 ප්‍රහාරක යානා රැගෙන ඒමේ දී තෝරාගත් පළමු ගුවන් නියමුවන් හය දෙනා අතරට ද ඔහු ඇතුළත් විය. 1995 දී කෆීර් ජෙට් යානා රැගෙන ඒමේ දී එහි නියමුවකු ලෙසද තේරුනු හෙතෙම කෆීර් ජෙට් බලගණයේ අණදෙන නිලධාරියාද විය.

ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලගණ සියල්ලේම දක්ෂ නියමුවකු වූ හෙතෙම මෙහෙයුම් අධ්‍යක්ෂ, ඇතුළු ඉහළ තනතුරු හොබවමින් මාණ්ඩලික ප්‍රධානී තනතුර දක්වා පැමිණි අයෙකි.

එළැඹෙන 02 වැනිදා නව ගුවන් හමුදාපතිවරයා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත අතර පසුදින (03 වැනිදා) උත්තමාචාර පෙළපාළියක්ද පැවැත්වේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා