News

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රට යනවට ඇමති නිමල් විරුද්ධයි

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරනවා.

කාන්තාවන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බව ද සඳහන් කරන අමාත්‍යවරයා, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් එම අදහස් පළකර ඇත.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින්“ බවය.

මේ නිසා කාන්තාවන්ට ගෞරවාන්විතව රට රැකියා සඳහා යාම සඳහා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බවත්, ඉදිරියේ දී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.