කුඩු ජාවාරමේ යෙදුණු ‘තොටළඟ චූටි’ මාට්ටු
බන්ධනාගාරගතව සිටින සිය මවගේ හෙරොයින් ජාවාරම තවදුරටත් පවත්වාගෙන ගිය දියණියක හෙරොයින් ග්රෑම් 322 මිලිග්රෑම් 910ක් සමග කොළඹ උතුර දිසා දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා (4 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
තොටළඟ මෝදර උයන මහල් නිවාසයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ හතරක් පමණ වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය 26 හැවිරිදි මෝදර උයන මහල් නිවාසයේ පදිංචිකාරියකි.
හෙරොයින් ජාවාරම් චෝදනා ලබා බන්ධනාගාරගතව සිටින සැකකාරියගේ මව වන ගීතා නමැත්තිය ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.
දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්නට ලද තොරතුරු මත සිදුකළ සෝදිසියකදී මෙම ‘තොටළඟ චූටි’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාලයේ ඉතිරි සැකකරුවන් සොයා කොළඹ උතුරු දිසා දූෂණ මර්දන ඒකකය විසින් විමර්ශන සිදුකරයි.
හේමන්ත ලියනපතිරණ
