News

කුරුණෑගල නගර සභාව ලෙඩ වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති, නාගරික කොමසාරිස් , ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වරෙන්තුවට එරෙහිව කුරුණෑගල මහ නගර සභාවේ එක්දහස් දෙසීයක් (1200) පමණ වූ විවිධ අංශවල සේවක සේවිකාවන් විසි දෙනෙකු පමණ හැර අනෙක් සියලුම දෙනා අද ( 11 ) දිනයේ ලෙඩ නිවාඩු ඉල්ලමින් විදුලි පුවත් එවා ඇතැයි කුරුණෑගල නගර සභා සේවකයෙකු පැවසීය.

කුරුණෑගල මහ නගර සභාව මගින් පාලනය වන කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට උමං මාර්ගයේ දොරගුළු දමා වසා දමා තිබුණු අතර කුරුණෑගල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් මැදිහත් වී එම දොරගුළු ද විවෘත කරනු ලැබීය.

නගර මධ්‍යයේ පිහිටි නව වෙළද සංකීර්ණයේ තෙමහල් ගොඩනැගිල්ල ද ඉබි යතුරු දමා වසා තිබූ අතර ගොඩනැගිල්ලෙහි වෙළඳසැල් හිමිකරුවන්ට ඔවුන්ගේ වෙළඳ සැල්වලට පිවිසීමට නොහැකි වන ආකාරයෙන් ඉබි යතුරු දමා වසා තිබුණි. මේ හේතුව නිසා ඔවුන්ට පැය කිහිපයක්ම වෙළඳසැල් විවෘත කිරීමට නොහැකිය වෙළද සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටීමට සිදු වූහ.

කුරුණෑගල නගර සභා කාර්යාලය විවෘත ව තිබුණ ද, අදාළ අංශවල සේවකයින් සේවයට නොපැමිණීම නිසා නාගරික වැසියන් සේවාවන් ලබා ගැනීමට පැමිණ ආපසු හැරී ගොස් තිබේ.

අනුර ජයන්ත දිසානායක – මල්ලවපිටිය