News

කුරුණෑගල රෝහලේ නව අධ්‍යක්ෂවරයා ගැන මවුවරුන් බියෙන්

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සරත් වීර බණ්ඩාර ඉවත් කර එම තනතුරට අබ්දුල් ෆාරීන් නමැති වෛද්‍යවරයකු පත්කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වන බව අතුරලියේ රතන හිමියෝ පවසති.

මේ පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව දැඩි කණස්සල්ලෙන් පසුවන බවද ඊ​යේ (7 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (7 වැනිදා) රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මව්වරුන් 900කට ආසන්න පිරිසකගේ දෙවන සහ තෙවන දරුවන්ගේ ගැබ් ගැනීම් නවතාලමින් සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වන වෛද්‍ය ෂාෆි ෂාබ්දීන් සේවය කළ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස මුස්ලිම් වෛද්‍යවරයකු පත්කිරීම මගින් සිදුවන්නේ කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන් බියට පත්වීම යැයිද උන්වහන්සේ පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අතුරලියේ රතන හිමියන් මෙසේද පවසා සිටියේය.

‘ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා වෛද්‍ය ෂාෆිගේ නඩුව අවසන් වන තෙක් හෝ මෙම පත්වීම අතිහිටුවන්න කියලා. එතුමාට ජනාධිපතිවරණයේදී ඡන්ද ලැබෙන්න ප්‍රධාන හේතුව වුණා. කුරුණෑගල මේ ඇති වුණු සිදුවීම, මොකද එතුමා ජනතාවට පොරොන්දු වුණා නැවතත් එවැනි දේවල් සිදුවෙන්න ඉඩදෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරන ලෙස.

කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍ය අධ්‍යක්ෂවරයා හිටි හැටියේම මාරු කරලා තියෙනවා. එතුමා මේ වෛද්‍ය ෂාෆිගේ ගැටලුව ඇති වුණ වෙලාවේ අසාධාරණයට පත්වුණු මව්වරුන් වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්. ඒ වගේම කුරුණෑගල පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ ගැටලුවේදී මැදිහත් වුණා. අසාධාරණයට පත්වුණු පිරිස් වෙනුවෙන් ඒ දෙදෙනාත් මාරුකරලා තියෙනවා මේ වෙනකොට.’